Sunday, November 27, 2016

ධනවාදී බලවතුන් හමුවේ නොසැලු සැබෑ සමාජවාදියාගේ ජීවිතය

තම ජීවිතයේ 90 වැනි වියේදී ලොවින් සමුගත් අසහාය සමාජවාදී නායකයා ෆිදෙල් කැස්ත්‍රෝ ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම සමාජවාදී නාකයෙකු ලෙස ඉතිහාසගත වී හමාරය. ලෝකයේ සෙසු රටවල ස්වාධිපත්‍යට අනවශ්‍ය ඇඟිලි ගසමින් සිටින ධනවාදී ඇමරිකානු අධිරාජ්‍යයේ බලපෑම ඉදිරියේ කිසි ලෙසකින්වත් දණ නොනැමූ ෆිදෙල් කැස්ත්‍රෝ නම් සමාජවාදී විප්ලවවාදියා, සියළුම සමාජවාදය ගරුකරන රටවලට ආදර්ශමත් නායකයෙක් විය.

ෆිදෙල් අලජෙන්ඩෝ කැස්ත්‍රෝ රුස් නමින් වර්ෂ 1926 අගෝස්තු 13 වැනිදා කියුබාවේ, හොල්ගුයින් පළාතේ, බයිරාන් හි ධනවත් ගොවියෙකුට දාව ඔහු උපත ලැබුවා. ධනවත් පවුලක උපත ලැබුවත් කුඩා කල සිටම ඔහු සමාජ විෂමතාවන්ට එරෙහිව නැගී සිටි අයෙක් වුණා. මේ නිසාම හවානා විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ අධ්‍යාපනය ලබන අවධියේ සිටම සමාජවාදී දේශපාලන ආකල්ප දැරූ ඔහු ඔර්තඩොක්ස් පක්ෂය යටතේ 1946 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවා.

කියුබාව තුළ ඒකාධිපති පාලනයක් ගොඩනගමින් වර්ෂ 1940 දී බලයට පැමිණි ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනයට එරෙහිව ජූලි 26  සංවිධානය බිහිකරමින් 1952 වසරේදී, තම සොහොයුරාගේ ද සහය ඇතිව කඳවුරු බඳින ෆිදෙල් කැස්ත්‍රෝට ඒ නැගිටීම හේතුවෙන්ම වසර 15ක සිර දඩුවමකට ලක්වීමට සිදුවුණා.

කෙසේ වෙතත්, ක්ෂමා සංවිධානයේද මැදිහත් වීම මත 1955 දී වසර දෙකක කාලයක් සිරගතව සිට නිදහස ලැබීමට ඔහුට වසනාව උදාවනවා.  අනතුරුව ඔහුට, එවකට විප්ලවීය සටන් නායකයෙකු වූ චේ ගුවේරාගේ දෛවෝපගත හමුවීම සිදුවීමත්  සමඟ ඔහුගේ ද සහාය ඇතිව බැටිස්ටා පාලනයට එරෙහිව කියුබානු විප්ලවය අරඹමින් කියුබාවේ ඒකාධිපති පාලනය බිඳ දැමීමට සමත්වනවා.

ඇමරිකාවෙ නොමද සහය ලද බැටිස්ටා පාලනය බිඳ දමමින් ෆිදෙල් ක්‍රැස්ත්‍රෝගේ මෙම ජයග්‍රහණය කියුබාව ලැබූ ජයග්‍රහණයක් පමණක් නොවූ අතර එය ප්‍රබල ඇමරිකානු රාජ්‍යට එරෙහිව ලැබූ ජයග්‍රහණයක් ලෙස දේශපාලන ලෝකයම පිළිගැනුනා.
මේ නිසාම ධනවාදයට එරෙහි මේ හිතුවක්කාර විප්ලවවාදියා ඝාතනය කරන්නට ඇමරිකාවේ රහස් ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වූ අතර ඔහුව ඝාතනය කිරීම සඳහා CIA ඔත්තු සේවය අවස්ථා 694 කදී උත්සාගෙන තිබෙනවා යැයි පැවසුවොත් ඔබ පුදුමවනු ඇත. එහෙත් පුදමය එය නොවේ, විෂ පෙති, විෂ සුරුට්ටු, විෂ රාසයන ගැල්වූ පිහිණුම් ඇදුම් ආදී නොයෙක් ක්‍රම යොදා ගනිමින් ඔහු මරණයට පත් කිරීමට ගත් සියළු උත්සහයන් ව්‍යාර්ත වීමයි. ලෝකයේ ප්‍රබලම බුද්ධි අංශය යැයි කියන CIA බුද්ධි අංශය අවස්ථා 694ක දීම ෆිදෙල් කැස්ත්‍රෝ ඉදිරියේ දණ නමන්නට සිදුවිය. අවසානයේ ඔහු ස්වභාවික මරණයක් අත්වන තුරුම ඔවුන්ට කල හැකි දෙයක් නෙවුණි.

සියළු  දේශීය හා විදේශීය කුමන්ත්‍රණ පරාජය කරමින් කියුබානු විප්ලවය ජයගැනීමෙන් පසු වර්ෂ 1959 දී කියුබාවේ නායකයා බවට පත්වන ෆිදෙල් කස්ත්‍රෝ. 1959 පෙබරවාරි 16 වැනිදා සිට 1976 දෙසැම්බර් 02 වැනිදා දක්වා කියුබාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුණා. ඉන්පසු 1976 සිට 2008 දක්වා එහි ජනාධිපති ලෙසත් කියුබාව වෙනුවෙන් සේවය කළ ඔහු දීර්ඝතම කාලයක් රටක් පාලනය කල නායකයන් අතර තුන්වන ස්ථානයට ද පත්ව තිබෙනවා. 2008 දී කියුබාවේ පාලනය ඔහුගේ සොහෙයුරා වන රාහුල් කැස්ත්‍රෝ වෙත භාරකරන ඔහු ජීවිතයේ අවසන් කාලය විවේකයෙන් ගත කරන්නට තීරණය කරනවා.

විප්ලවය ජය ගැනීමට රුසියානු හා චීන රාජ්‍යයන්ගේ සහය ෆිදෙල් කැස්ත්‍රෝ හට ලැබුණද, ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය වූයේ නොබැඳි පිළිවෙතයි. ඒ නිසාම නොබැදි ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කල ඔහු 1979 දී එහි සභාපති ධූරය හිමි වූ අතර සංවිධානයේ 7 වැනි සහ 23 වැනි මහලේකම්වරයා ලෙසද කටයුතු කර තිබුණි. නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නායකයකු ලෙස ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවූයේ ය. 
ඔහුගේ දශක 5ක පාලන කාලය තුල ඇමරිකානු ජනාධිපතිවරුන් 9 දෙනෙක් සමඟ ගනුදෙනු කරන්නට සිදුවූ අතර ඒ සෑම ජානිධිපතිවරයෙක්ම කියුබාව වෙත දැඩි ආර්ථික සම්බාධක පැනවීමට කටයුතු කර තිබුණි. එහෙත් ඒ කිසිවකින් වත් ඔහුගේ දැඩි ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් කිරිමට හැකිවූයේ නැහැ . ඔහුගේ මේ නොසැලෙන පෞර්ෂය නිසාම 2012 වසරේදී ටයිම්ස් සඟරාව ලෝකයේ බලවත්ම පෞර්ෂයකින් හෙබි පුද්ගලයන් සිය දෙනා අතරට ෆිදෙල් කැස්ත්‍රෝගේ නමත් ඇතුලත් කර තිබුණා.

දෙවරක් විවාහ වී ඇති ෆිදෙල් කැස්ත්‍රෝගේ ප්‍රථම බිරිඳ මිරිතා ඩයස්-බලාට් නම් වූ අතර, එම විවාය 1948 සිට 1955 දක්වා පැවතිණි. අනතුරුව 1980 දී ඩාලියා සෝටෝ ඩෙල් වාලේ සමග ඔහු විවාහ විය. මේ විවාහයන්ගෙන් ෆිදෙල් කැසේත්‍රෝ හට දූ දරුවන් නව දෙනෙක් සිටිනවා.
දැඩි ආර්ථික සම්බාධක තිබියදීත්  කියුබානු ජනතාවගේ  සාක්ෂරතාවය සහ සෞඛ්‍ය මට්ටම ලෝකයේ ඉහළම තලයකට ගෙන එන්නට සමත් වූ මේ අසහාය නායකයා  2016 නොවැම්බර් 25 දා මියයන තෙක්ම, කියුබානුවන් ලෝක බලවතුන් හමුවේ දණ නොනමන ජාතියක් බවට පත්කළේය. ලෝක දේශපාලනයේ සදා අනුස්මණීය නාමයක් ඉතිරි කරමින් ඔහු මෙලොවින් සමුගෙන යන විට දහස් ගණනක් කියුබානුවන් වීදි බසිමින් ඔහු වෙත ගෞරව පුදකරන්නේ ඒ නිසයි. එමෙන්ම සමාජවාදය ගරු කරන ලෝකවාසී සියළු දෙනා මේ අසහාය සමාජවාදී නායකයාට වෙත කාල් මාක්ස්ට, ලෙනින්ට සේම අනාගතයේදීත් ගෞරවය පුද කර සිටිනු නියතයි.

.
.


No comments:

Post a Comment