Thursday, November 10, 2016

වසර සිය ගණනක් පුරා නැව් ගුවන් යානා ගිලගත් බර්මියුඩාවේ අභිරහස සොයාගනී

පසුගිය අවුරුදු 100ක කාලය පුරා මිනිස් ජීවිත 1000කට අධික ප්‍රමාණයක් ද, ගුවන් යානා 75ක පමණ ප්‍රමාණයක්  සහ විශාල නෞකා සිය ගණනක් කිසිදු තොරතුරක් ඉතිරි නොකරම අතුරුදහන් කර වූ අභිරහස් මුහුදු කලාපයක් වන බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වුණා. මෙම අභිරහස විසදීම සඳහා වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයින් මහත් වෙහෙසක් දැරූ නමුත් මේ වර්ග කිලෝමීටර් 500,000ක් පමණ වන අභිරහස් මුහුදු කලාපයේ සිදුවන අත්භූත අතුරුදහන් වීම් පිළිබඳ නිවැරදි මතයක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වුණා.
බර්මියුඩා මුහුදු පත්ලේ නිපදවෙන මීතේන් වායුව නිසා නිර්මාණය වන විශාල මීතේන් වායු බුබුළු මෙම අභිරහස් අතුරුදහන්වීම් වලට හේතුවන බව මේ වන විට බොහෝ දෙනා විශ්වාස කරන විද්‍යාත්මක මතයයි. මුහුදු පත්ලේ සිට මතුපිටට පැමිණෙන මෙම විශාල වායු බුබුළු මතින් නෞකාවන්  ගමන් කිරීම නිසා ඒවා මුහුදුබත් වන බව විද්‍යාඥයින් පැවසුවත්, ගුවන් යානා අතුරුදහන් වීමට එම වායු බුබුළු නිසා සිදුවන බලපෑම හරිහැටි පහැදිලි කිරීමට ඔවුන් අසමත් වී තිබෙනවා. මේ අතර බර්මියුඩා මුහුදු පත්ලේ ඇති දැවැන්ත පිරිමීඩ නිර්මාණ දෙකක් පිළිබඳ පර්යේෂකයින් කණ්ඩායමක් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ පිටසක්වල ජීවීන් හෝ ගුප්ත බලවේගයක් මෙම අභිරහසට හේතුවන බවට තවත් මතයක් පළවුනා.
කෙසේවෙතත් මේ අභිරහස පිළිබඳ පිළිගත හැකි සධාරණ විසදුමක් ඉදිරිපත් කිරීමට විද්‍යාඥයින් ගත් උත්සාහය නොනැවතී ඉදිරියට ගමන් කළා. මේ අතර බර්මියුඩා අභිරහසට විසදුම් සෙයමින් සිටි චන්ද්‍රිකා කාලගුණ විද්‍යාඥයෙක් වන ස්ටීව් මිලර් සහ ඔහුගේ කණ්ඩායම පසුගිය දිනක ලොවම මවිත කරමින්  අභිරහස පිළිබද නව විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කිරීමට සමත් වී තිබෙනවා.
ඔවුන්ගේ සොයා ගැනීම්වලට අනුව බර්මියුඩා අභිරහස් අතුරුදන් වීම් වලට හේතුව වී ඇත්තේ එම කලාපයේ ඇති දැවැන්ත වළාකුළු සමූහයක් බවයි. ෂඩාස්‍රාකාර හැඩයෙන් යුක්ත වන මෙම දැවැන්ත වාළාකුළු සමූහය බර්මියුඩාවේ බටහිර දෙසට වන්නට සැතපුම් 20-55ත් අතර පැතිරී පවතින බව පර්යේෂකයින් පවසනවා. අසාමාන්‍ය හැඩයෙන් යුත් මෙම වාළාවන් 'වායු බෝම්බ' ලෙස හදුන්වන අතර ඒවාට පැයට කිලෝමීටර් 170ක පමණ අධිවේගී සුළි සුළං නිර්මාණය කල හැකි බව ඔවුන්ගේ සොයාගැනීම් වලින් හෙලිවි තිබෙනවා.
ගුවන්යානා සහ නෞකාවන් තප්පර කිහිපයකදී සුණුවිසුණු කළහැකි මෙම වායු බෝම්බයන්ට නිශ්චිත සීමාවක් නොමැති අතර මහා දරුණු සුළි සුළං හා භයානක කුණාටු තැනින් තැන විශාල වපසරියක් තුළ නිර්මාණය කළ හැකි බව කාලගුණ විද්‍යාඥ ස්ටීව් මිලර් පවසනවා. මේ මහා අධිබලැති වායු බෝම්බයන්ට මැදිවන ගුවන්යානා සහ නෞකාවන් කිසිදු සලකුණක් ඉතිරි නොකරමින් යක්ෂයාගේ ත්‍රිකෝණයෙහි ඉතා ක්ෂණයකින් සැඟවී යන බව පැවැසෙනවා. විද්‍යාඥ මිලර් වැඩිදුරටත් පවසන්නේ මෙම දරුණු සුළං තත්ත්වය 'කැත්‍රිනා' සුළි කුණාටුව හා සමාන වන බවයි.
මෙම ෂඩාස්‍රාකාර වලාකුළු බෝම්බ සමූහයට සුළං නිර්මාණය කරමින් මුහුදු රළ අඩි 45ක් පමණ උසට එසවිය හැකි යැයිද පර්යේෂණ කළ විද්‍යාඥයන් පවසනවා.

මෙම සොයාගැනීමත් සමඟ බර්මියුඩා අභිරහස පිළිබඳ පිළිගත හැකි සාධාරණ විසදුමක්  ඉදිරිපත් වී ඇති බව බොහෝ දෙනා අදහස් දක්වා සිටිනවා. එසේ වුවත් මෙම ෂඩාස්‍රාකාර හැඩයෙන් යුත් වායු බෝම්බ නිර්මාණය වන ආකාරය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු අතර එමගින් අභිරහස පිළිබඳ අප නොසිතන තවත් බොහෝ දේ හෙළිකර ගත හැකි බව තවත් පිරිසකගේ මතය වී තිබෙනවා.



No comments:

Post a Comment