Friday, January 20, 2017

kingston සමාගම ලොව වැඩිම ධාරිතාවයක් ඇති පෙන් ඩ්‍රයිව් එක නිපදවයි

වර්තමානයේ දී දත්ත හුවමාරු කර ගැනීම සඳහා වැඩි වශයෙන්ම භාවිතාවන තාක්ෂණික උපාංගයක් ලෙස  USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එහෙමත් නැතිනම් පෙන් ඩ්‍රයිව් හඳුන්වන්න පුළුවන්. මීට වසර කිපයකට පෙර මෙගා බයිට් 4,8,16 ක පමණ කුඩා දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව් මුල් වරට වෙළඳපලට නිකුත් වුණා. දත්ත හුවමාරු කීරීමේ දී මේවායේ ඇති පහසුව සහ ආරක්ෂිත බව නිසා ලොවපුරා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ වැඩි ධාරිතාවයක දත්ත ගබඩා කල හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව් විවිධ නිෂ්පාදකයන් විසින් වෙළඳපලට නිකුත් කරනු ලැබුවා.

කෙසේවෙතත් තාක්ෂණයේ දියුණුවත් සමඟ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ ගබඩා කල හැකි දත්ත ප්‍රමාණය පිළිබඳව කිසවිටකවත් පාරිභෝගිකයන් නම් සෑහීමකට පත් වූයේ නැහැ. තමන් සතු ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ අවශ්‍ය තරම් ඉඩක් එහෙමත් නැතිනම් ධාරිතාවයක් නොමැති වීම ඔවුන්ට සැමවිටම ගැටළුවක් වුණා.
ෆ්ලෑෂ් ඩ්‍රයිව් නිෂ්පාදනයේ සුප්‍රකට නාමයක් හිමි kingston technologies සමාගම තවත් බොහෝ කාලයකට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ ධාරිතාවය පිළිබඳ ගැටළුවක් ඇති නොවන තරමේ නිෂ්පාදනයක් වෙළඳපලට නිකුත් කිරීමට සැරසෙනවා. Data Traveler ultimate GT ලෙස නම් කර ඇති ඔවුන්ගේ නවතම ෆ්ලෑෂ් ඩ්‍රයිව් නිෂ්පාදනය ටෙරා බයිඩි 2ක ධාරිතාවකින් යුක්ත බව සමාගම පවසනවා. නවීන ලැප්ටොප් පරිගණකයක මතක ධාරිතාවයට වඩා වැඩි ධාරිතාවයක් ඇති මෙය අඟල් 3කටත් වඩා දිගින් අඩුයි.

මෙතෙක් ලෝකයේ නිෂ්පාදනය කර ඇති වැඩිම ධාරිතාවක් සහිත ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක වන මෙය  zinc-alloy ආවරණයකින් යුක්තයි.  එළඹෙන පෙබරවාරි මාසයේදී මෙය වෙළඳපලට නිකුත් කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර මෙහි මිල ගණන් පිළිබඳව කිසිවක් තවමත් සමාගම විසින් සඳහන් කර නැහැ.

Wednesday, January 11, 2017

ඔබේ ප්‍රියතම චොක්ලට් ගැන පුදුම හිතෙන කරුණු ටිකක්



ලෝකයේ තිබෙන සියළුම ආහාර අතරින් මිනිසුන් වයස් බේදකින් තොරව දැඩි රුචිකත්වයක් දක්වන ආහාරයක් වේ නම් ඒ චොක්ලට් වන බවට කිසියම් සැකයක් නැහැ. නොර්වේහි පිහිටි ආහාර පර්යේෂණ ආයතනයේ සිදුකරන ලද පර්යේෂණ වලින් ද සියලුම ආහාර අතරින් මිනිසා දැඩි අභිරුචියක් දක්වන්නේ චොක්ලට් වලට බව හෙළි වී තිබෙනවා. කුඩා කාලයේ සිට මේවන තුරුත් ඔබ වඩාත් ආදරය කරන චොක්ලට් ගැන ඔබ මීට පෙර නොඇසූ  කරුණු කිහිපයක් පහතින් කියවන්න.

කොකෝවා ඇට චොකලට් සෑදීමට අවශ්‍ය ප්‍රධානම අමු ද්‍රව්‍යයයි. මෙයට අවුරුදු පනස්දහසකට පමණ පෙර ඔරින්කෝ හෝ ඇමේසන් නම්නවල කොකෝවා ශාකය මුලින්ම බිහිවෙන්නට ඇතැයි විශ්වාස කරනු ලබනවා.

කොකෝවා හඳුනාගත් ප්‍රථම යුරෝපා ජාතිකයා වීමේ ගෞරවය හිමිවන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස්ටය. ක්‍රි.ව. 1502 දී නව ලොවක් සොයා ගිය සිව්වන සංචාරයේදී ඔහු කොකෝවා හඳුනාගෙන ඇත.
එයට අවුරුදු 20කට පසු 1528 දී හර්නන් කෝට්ස් නැමැති සංචාරකයාට ඇසටෙක් නැමති දේශයේ මෙක්ටෙසමා නම්වූ පාලකයා මහත් ගිජුබවකින් පානය කරන බීමක් පිළිබඳ දැනගන්නට ලැබී ඇත. තරමක් තිත්ත නමුත් රසයෙන් මුළු සිරුරම සලිත කරවන එම පානය ‘‘සොකොට්ල්‘‘‘නමින් හැඳින්විය. එපමණක් නොව එම දේශයේ මුදල් වශයෙන්ද භාවිතා වූයේ ද මෙම කොකෝවා ඇටය.

හර්නන් කෝට්ස් තම සංචරය අවසන් කර තම රටවන ස්පාඤ්ඤයට යන විට කොකෝවා ඇට මල්ලක් රැගෙන ගොස් ස්පාඤ්ඤයේ පස්වන චාලස් රජුට තෑගි කළ අතර පසුව ස්පාඤ්ඤවරුන්  බිස්කෝ , ට්‍රිනිඩෑඩ් ඇතුළු බටහිර අප්‍රිකානු දූපත්වල කොකෝවා ගස් වගා කරීම අරඹා ඇත. එම කොකෝවා වලින් සඳාගත් පානය ස්පාඤඤ් ප්‍රභූවරුන්ගේ ප්‍රියතම පානයක් විය.
එක් දහස් හත්සිය ගණන් වල මුල් කාලය වන විට කොකෝවා පානය සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වන්නට විය.

ස්ටෙෆානි බ්ලැන්කාඩ් නැමති වෛද්‍යවරයා මුල්ම වරට 1705 දී කොකෝවා පානය සිරුර නිසි සෞඛ්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට උපකාරීවන බව පවසා ඇත.
මුලින්ම ස්පාඤ්ඤවරුන් සතුව කොකෝවා වගාවේ ආධිපත්‍ය පැවතුනත් පසුව ඉංග්‍රීසීන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල කොකෝවා වගාව ආරම්භ කර තිබෙනවා.
දාහත්වන සියවස වන විට බ්‍රිතාන්‍යයේ කොකෝවා පානය අතිශය ජනප්‍රිය වූ අතර මේ සමයේම කිරි සමඟ මිශ්‍රකර පානය කිරීම ද ආරම්භ විය.

කොකෝවා පානයට එකල හිමිවූ සුවිශේෂි ස්ථානය නිසා මෙය හියෝබ්‍රෝමා හෙවත් දෙවියන්ගේ පානය ලෙස හැඳින්වූවා.
මත්පැන් වලට ඇබ්බැහි වූවන්ට විකල්පයක් ලෙස කොකෝවා පානය සුදුසු බව ඒ සමයේ   වෛද්‍යවරුන් පවා  නිර්දේශ කර තිබෙනවා.
1828 දී කොන්ර්ස් වෑන් හූස්ටන්  නැමති ඕලන්ද රසායන විද්‍යාඥයා කොකෝවා මේදය මිරිකා සුදු පැහැයෙන් යුතු බටර් නිපදවා ඉන් පළමු වරට කොකෝවා කුඩු නිපදවීය.
ඉන් වසර 50කට පසු කිරි, සීනි, බටර් සහ කොකෝවා එකතුකර අද අප අහාරයට ගන්නා චොකලට් නිපදවීම ස්විස් ජාතිකයෝ ආරම්භ කර ඇත.

චොක්ලට් වල ස්ටිටරික් නම් අම්ලය අන්තර්ගත වීම නිසා සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ දී ඝන ද්‍රව්‍යයක් ලෙස පවතින අතර මුඛයට ගත් පසු එහි ඇති තාපය උරා ගැනීම නිසා දියවීම සිදුවනවා.
කැලිෆෝනියාවේ ස්නායු විද්‍යා ආයතනයකින් කල පර්යේෂණයකට අනුව මරිජුවානා මඟින් මිනිස් මොළයට ඇති කරන බලපෑම ඇති කල හැකි රසායනය චොකලට් වල අන්තර්ගතවන බව සොයාගෙන තිබෙනවා.
චොකලට් අහාරයට ගැනීම නිසා මොළයේ බීටා ඇන්ඩ්‍රොෆින් නම් රසායනය නිපදවෙන බව පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන ඇති අතර අබින් වැනි රසායනික ද්‍රව්‍යයක් වන මෙයින් මොළයේ සහනශීලි හැඟීම් ඇති කරවන බව ඔවුන් පවසනවා.
ලෝකයේ චොක්ලට් පරිභෝනයෙන් වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ කාන්තාවන්ය. ලෝකයේ කාන්තාවන් 40% ක් චොක්ලට් අහාරයට ගන්නා අතර වැඩිහිටි පිරිමින් 25%ක්ද  කුඩා ළමුන් 30%ක් ද චොකලට් ආහාරයට ගනී.

චොක්ලට් එක්තරා අන්දමක ලිංගිකාස්වාද ආදේශකයක්මෙන් ක්‍රියා කරන නිසා කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් චොකලට් කෑමට කැමැත්තක් දක්වන බව සොයාගෙන තිබෙනවා.
චොක්ලට් වල ඇති ෆෙනිට් එතිල් ඇමයින් නම් රසායන ද්‍රව්‍ය නිසා හෘද ස්පන්දන වේගය මෙන්ම රුධිර පීඩනය ද ඉහළ නංවා ලිංගිකාස්වාදයේ උපරිම අවස්ථාවේදී ඇතිවන මානසික සුවතාවයට සමාන හැඟීම් ඇති හැකි බව හෙළීවී තිබෙනවා.
රුධිරයේ ඇති අධි ඝනත්ව ලිපෝප්‍රෝටීන පාලනය කිරීමට හැකි ෆිනෝල් නැමති රසායනික ද්‍රව්‍යය චොක්ලට්වල අන්තර්ගත නිසා හෘද්‍යාබාධ වැලැක්විය හැකි බව වෛද්‍යවරු පවසනවා.

ඇමරිකාවේ සුප්‍රකට MNM චොක්ලට් සමාගම විසින් මේද අවම චොක්ලට් වර්ගයක් නිපදවූවත් චොක්ලට් වල අවේනික රසය සහ ස්වභාවය රැකෙන පරිදි මේදය රහිත චොක්ලට් නිපදවීම අපහසු කටයුත්තක් වී තිබෙනවා.

චොක්ලට් වල අඩංගු මේදය නිසා එයට කැමති විය යුතු බව මොළය අපට දන්වා සිටින නිසා අප මේතරම් චොක්ලට් වලට කැමැත්තක් දැක්වීමට හේතුවන බව පර්යේෂකයින්  කණ්ඩායමක් පවසනවා. 

Saturday, January 7, 2017

තරඟ 92 තුල කඩුලු 500ක් දවාගත් ශ්‍රී ලංකාවේ මීළඟ බලාපොරොත්තුව මලින්ද


ශ්‍රී ලංකාව සුපිරි දඟ පන්දු යවනන් ක්‍රිකට් ලෝකයට බිහිකරන තිඹිරිගෙයක් ලෙස ලෝප්‍රකටයි. ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් මෙන්ම මේවන විට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන සුපිරිම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත්, ශ්‍රී ලංකාව ලෝකයට දයාද කල දඟ පන්දු යවන්නන් අතර කැපී පෙනනවා.. නමුත් රංගන හේරත්ගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන්  ක්‍රීඩා කල හැකි තවත් සුපිරි දඟ පන්දු යවන්නෙක් සිටිනවාද? මෙය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන  බොහෝ දෙනකු නගන ගැටළුවක්.
 ක්‍රීඩා ලෝලීන්ගේ එම ගැටළුවට සාර්ථක පිළිතුරක් දීමට මලින්ද පුෂ්පකුමාර නම් වමත් දඟ පන්දු යවන්නා සමත්වී තිබෙනවා. ලෝකයට විශිෂ්ට දඟ පන්දු යවන්නන් බිහිකරන මේ පුංචි දිවයිනේ නවතම නිර්මාණය ඔහු බව පිළිගැනීමට තරම් දක්ෂතා මේවන විටත් ඔහු පෙන්වා හමාරයි.


මේ වන විට 29 වන වියේ පසුවන මලින්ද පුෂ්පකුමාර පසුගිය දා ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කරමින් පළමු පෙල ක්‍රිකට් තරඟවලදී කඩුලු 500 සීමාව පසු කිරීමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සනිටුහන් කිරීමට සමත් වුණා. පළමු පෙළ තරඟ 92ක් ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාව දැක්වීමට ඔහුට හැකි වී තිබෙනවා. 2014/15 වර්ෂයේ වැඩිම කඩුලු ලාභියා වන මලින්ද එහිදී කඩුලු 70ක් දවාගෙන තිබෙන අතර වසරේ හොඳම පන්දු යවන්නා ලෙසද සම්මාන හිමි කරගත්තා. මීට පෙර 2011/12 සහ 2012/13 යන වර්ෂවලදී ද හොඳම පන්දු යවන්නා ලෙස දෙවරක් සම්මාන හිමි කරගැනීමට ඔහුගේ දක්ෂතා ප්‍රමාණවත් වුණා.

ලුම්බිණී විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දයාද වූ ඔහු 2006 වසරේ දී සිංහ ක්‍රීඩා සමාජය හරහා පළමු පෙළ තරඟවලට පිවිසෙනවා. 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ICC Youth World Cup තරඟාවලිය සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාව හිමිවී තිබෙනවා. 2012 වර්ෂයේ දී මුල්ම වරට ශ්‍රි ලංකා A කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමිවීම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ ලද ස්වර්ණමය අවස්තාවක් ලෙස සටහන්වනවා.
ඔහු සහභාගී වූ පළමු පෙළ තරඟ 92  තුල කඩුලු 5ක් ලබාගත් අවස්ථා 38 සහ කඩුළු 10ක් දවාගත් අවස්ථා 15ක් සටහන් වන අතර ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 46 කට කඩුලු 9ක් දවාගැනීම ඉනිමකදී වාර්තාකල හොදම දක්ෂතාවය ලෙස වර්තාවනවා.
මේ වන විට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන මලින්ද මෙම තරඟ සමයේදී ද කඩුලු 40ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවනවා.


ශ්‍රී ලංකාවේ මීළඟ දඟ පන්දු තරුව වීමට අවශ්‍ය තරම් සුදුසුකම් සපුරා සිටින මලින්ද පුෂ්පකුමාරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අවස්ථාවක් හිමි විය යුතුව තිබෙනවා. වර්ෂ කීපයකදීම හොඳම පන්දු යවන්නා වෙමින්, පළමු පෙළ කඩුලු 500 සීමාව පසුකල මලින්ද පුෂ්පකුමාර වැනි අති දක්ෂ ක්‍රීඩකයන්ට තවමත් ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම පුදුමයට කරුණක්. එලඹෙන ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් මෙවැනි සුපිරි පන්දු යවන්නන් ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට සූදානම් කරන්නේ නම්, තවත් ලෝක  කුසලාන ජයග්‍රහණයක් ලබා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.  

Sunday, January 1, 2017

අළුත් අවුරුද්දේ ඔබේ ඉලක්කය ජයගැනීමට නම්, ඔබ තුල ඇති කරගත යුතුම වෙනස

යම් යම් දේ ගැන මැසිවිලි නගනවාට වඩා, මේ දේ මෙසේ උනානම් හොඳ යැයි සිත සිතා ඉන්නවාට වඩා, යම් කෙනෙකු තමා බලාපොරොත්තුවෙන මතය තමා තුල ඇති කරගන්නේ නම් එයම ජයග්‍රහණයේ දොරටු විවර කරනු ඇත.
කෙනෙකු තමා තුල දකින්නට කැමති වෙනස සාර්ථකත්වය, ජයග්‍රහණය සඳහා කල හැකි සියල්ල කල යුතුය. ඒ වෙනුවට තමන්ට හැකි දේවල් හෝ නොලැබුන දේවල් හෝ අහිමිවුන දේවල් ගැන වද වෙමින් කල හැකි දේ දිනපතා කල් දැමීම තමන්ගේ සාර්ථකත්වය තමා විසින්ම වලදමා ගන්නා ක්‍රමයකි.

ස්වභාව ධර්මය විසින් කිසිම මිනිසෙකු අලසව සිටීමට නිර්මාණය කර නැත
ස්වභාව ධර්මය කිසිම මිනිසෙකු අලසව සිටීමට නිර්මාණය කර නැතිනම් මිනිසුන් අලසව සිටින්නේ ඇයි, එය ඕනෑම කෙනෙකු සිතන ප්‍රශ්නයක් විය හැක. බොහෝ අලසව සිටින අය ගැන විමර්ශනශීලීව බැලුවොත් පැහැදිලි වන න්‍යායක් වන්නේ මේ අයට ඇත්තටම, සැබෑලෙසටම, අව්‍යාජව, සාර්ථකවන්න උවමනාවක් නැති වීම හෝ ඔවුන්ට තියෙන උවමනාව සත්‍ය උවමනාවක් නොවීමයි. මොවුන් විවිධ උපක්‍රම භාවිතා කරමින් කාලය නාස්තිකර දමනවා දැකිය හැකිය. මොවුන් හඳුනාගැනීමට පහසු කාරණා කිහිපයක් සඳහන් කිරීමට කැමැත්තෙමි.
සමහරුන් නිතර නිතර අනවශ්‍ය කතාවලට පැටලී පැය ගණන් කාලය නාස්තිකර දමති, තවත් අය රූපවාහිනිය ඉදිරියේ පැය ගණන් කාලය නාස්ති කර දමති, සමහරුන් ඕපාදුප කතාකරමින් නිතර නිතර කාලය නාස්ති කර දමති, තවත් සමහර අය අනවශ්‍ය අබ්බැහිවීම් නිසා කාලය නාස්තිකර දමති. මේ අයගේ ජීවිත ඔහේ ඒකාකාරී ලෙස ගලා යන එකතැන පල්වෙන ජීවිත ලෙස පැවතීමද දක්නට ලැබෙන අතර මොවුන්ගේ ජීවිත බොහෝවිට නිකම්ම නිකම් දිවාකාලයක් හා රාත්‍රී කාලයක් ගතකිරීමක් පමණි. ජීවත් වෙනවා යන්න එය නොවේ.

යාචකයන්ද ජීවත් වෙති, තිරිසන් සතුන්ද ජීවත් වෙති,
ජිවිතය යනු ඔහේ ජීවත්වීම නොවේ
යමෙක් තමාගේ උවමනා එපාකම් නිවැරදි ලෙස සපයාගෙන තමන්ගෙන් විය යුතු යුතුකම් කොටස මැනවින් ඉටුකරමින් සතුටින් ජීවත් වන්නේ ද එය ජීවත්වීමය
සැබෑ ලෙස ජීවත්වීමට නම් ගෙවන හැම දවසක්ම අර්ථවත්ව ගෙවිය යුතුයි, සැලසුම් සහගතව ගෙවිය යුතුයි. එම දිවි ගෙවීම ඉක්මනින්ම ඉතාම අර්ථාන්විත සැබෑ ජීවත්වීමඅපට සමීප කරනු ඇත.
1946 අගෝස්තු 20 දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ගුරුවරයෙකුට දාව කොලු ගැටයෙක් ඉපදෙනවා ඔහු නමින් නාරායන මූර්ති. පසුකලෙක මොහු මයිසුර් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු උපාධාය සම්පූර්ණ කර පසුව IIT විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව හදාරනවා.
1981 සිය බිරිඳගේ රත්‍රන් ආභරණ උකස් කර ලබාගන්න රු. 10,000 ක මුදලින් තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ Infosys ආයතනය ආරම්භ කරනවා. එය ඉතා කෙටිකලකින් ලෝකයේ දැවැන්ත සමාගමක් බවට පත්වනවා.

ඔහුට එහෙම ඕනකමක් තිබුණා, පළමුව ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු විද්‍යාව හදාරන ඔහුට පසුව පරිගණක විද්‍යාව හදාරන්න උවමනාවක් ඇති වෙනවා. එම උවමනාව බොහෝ අය තුල සැබෑ ලෙස ඇතිවන්නේ නැහැ. බොහෝ අය කරන එක් දෙයක් උනත් සාර්ථකව කරන්නේ නැහැ. ඉතින් තවත් දෙයක් ගැන කවදාවත් හිතයි ද යන්න ගැටළුවක්. පුළුවන් කමක් තිබිලාම නෙමෙයි ඔහු මෙම ආයතනය පටන්ගත්තේ බිරිඳගේ කනකර ආභරණ උකස් කරලා. ඔහුට අපේක්‍ෂිත වෙනසක් තිබුණා. ඔහු එම වෙනස තමන් තුල ඇති කරගැනීමට වෙහෙසුනා.
නාරායන මූර්ති ඇතිකල Infosys සමාගම ඔහු ඇමරිකාවෙත් ආරම්භකලා. එය ඇමරිකාවේ ආරම්භ කල ප්‍රථම ඉන්දීය සමාගම වූවා. ඔහුගේ සමාගම තුලින් මිලියන 400 කට වඩා බිහිවුනා. Asia week සඟරාව මඟින් 2000 වර්ෂයේ දී ඔහු ආසියාවේ බලවත්ම මිනිසුන් 50 දෙනා අතරට තෝරා ගැනුනා.
නාරායන මූර්ති ගෙවන සෑම දවසක්ම අර්ථාන්විතව ගෙවා දමමින් ලෝකයේම බැබලෙන මිනිසෙක් උනා. ලෝකයම එපාවූ ගානට දවසක් ගානේ නීරස ලෙස, කාලකන්නි ලෙස ගෙවා දමනවාට වඩා එය කොතරම් අපූර්ව කටයුත්තක්ද?
නොවරදින්නට නම්,
යමක් නිවැරදි ලෙස සාර්ථකව හදුනාගැනීමට නම් එම ඉලක්කය සුවිශේෂී එකක් විය යුතුයි. එම ඉලක්කය 100% ක් තමන්ගේ මනසට කාන්දු වී තිබිය යුතුයි. එම ඉලක්කයෙන් හිත පිරි ගොස් තිබිය යුතුයි. එයට සීමාවක් පනවා තිබිය යුතුයි. අපි හිතමු කෙනෙකුගේ ඉලක්කය ලස්සන නිවසක් සැදිමට කියලා. එහෙනම් ඒ නිවස සාදන්නේ අවුරුද්දකින්ද දෙකකින්ද හතරකින්ද කියලා හරියටම නිශ්චිත කරගත යුතුයි. එහි සැලසුම වියදම ගැන පූර්ව නිගමනයකට පැමිණ තිබිය යුතුයි. එයට මුදල් උපයාගන්නා ආකාරය පිළිබඳව නිගමනයකට පැමිණ තිබිය යුතුයි.

 කෙනෙකුගේ අරමුණ ව්‍යාපාරයක් කිරීම නම් ව්‍යාපාරයේ අරමුණ, ව්‍යාපාරයේ වර්ගය, එයින් ලැබෙන ආර්ථික ප්‍රථිලාභ, ගනුදෙනුකරුවන්, ආරම්භ කරන්නට කැමති ප්‍රදේශය යානාදි සියල්ල පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණ තිබිය යුතුයි. මෙලෙස සැලසුම් සහගතව ඇති අරමුණ අනිවාර්යයෙන්ම සැබෑවෙනවා ඇත.
වචන වලට වඩා සැමවිටෙකම ක්‍රියාව ප්‍රබල වනවා ඇත.
ඔබේ වචන විශ්වාස නොකරන අය සිටිය හැකිය. නමුත් ඔබගේ ක්‍රියාව ඔවුන් වශ්වාස කරනු ඇත. සාර්ථක විමට නම් වචන ක්‍රියාවන් වලට හැරවිය යුතුයි.
කෙනෙකුගේ වචන, සිතුවිලි ක්‍රියාවන්ට හැරවූයේ නැත්නම් ඔහුගේ සිහිනය කවදාවත් යතාර්ථයක් නොවනු ඇත. නාරායන මූර්ති සැමවිටකම උත්සාහ කලේ ඔහුගේ අරමුණු, බලාපොරොත්තු සහින ක්‍රියාවන්ට හැරවීමටයි. එය සාර්ථක වූවා.

ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් සිතුවිලි ක්‍රියාවන් බවට හරවන්න.
ඔබ ඔබේ ජීවිත ගැන කොතරම් තෘප්තිමත්ද? කොරම් සෑහීමකට පත්වන්නේද? කොතරම් සතුටුයිද? ඔබ කැමති පරිදි ඔබගේ ජීවිතය සකස්වී නොමැති නම් මේ මොහොතේම වෙනස් කරන්න, මේ ඔබේ ක්‍රියාවයි. ඔබයි ප්‍රතිමල්ලවයා, ඔබයි ක්‍රීඩකයා, ඔබයි විනිසුරු එම නිසා ජයග්‍රහණය කරන්නේ ද ඔබමයි.

ආචාර්ය ලංකා රසාංජන