Tuesday, December 5, 2017

සතියක් තුළ දෙවන වරටත් Facebook Messenger අක්‍රීය වෙයි.

Facebook Messenger ක්‍රියාකාරිත්වය පසුගිය සතියේ කඩින් කඩ අක්‍රිය වීම හේතුවෙන් පණිවිඩ ප්‍රවේශ කිරීමට හෝ යැවීමට අපොහොසත් වූ පරිශීලකයින් ගණන ඉතා ඉහළයි. පසුගිය ගැටළු කාරී තත්වයන් ඉතා ඉක්මණින් ෆේස්බුක් තාක්ෂණික අංශය විසඳා ඇති මුත් අද දින (දෙසැ 05) සිදුවූ බිඳ වැටීම මෙතෙක් සිදුවූ විශාලතම බිඳ වැටීම බවට වාර්තාවේ.

තවමත් අද දින සිදුවූ බිඳ වැටීම පිළිබඳ අදහස් දැක්වීමක් ෆේස්බුක් ආයතනය සිදු කර නොමැති අතර. ලොව පුරා පරිශීලකයින් රැසක් අප්‍රසාදය පළ කරමින් අනෙකුත් සමාජ ජාල අඩවි ඔස්සේ අදහස් දක්වමින් සිටී.



Saturday, July 22, 2017

ජීවිතයට සමුදුන් linkin park රොක් තරුවගේ නොඇසූ කතාව



Linking Park සංගීත කණ්ඩායම හරහා ලොව පුරා සංගීත ලෝලීන් අතර ප්‍රසිද්ධියට පත්වූ Chester Bennington ඇමරිකානු ජාතික ගී පද රචකයෙක් හා ගායකයෙකි.

1976 මාර්තු මස 20 වන දින උපත ලබන ඔහු 2013-2015 අතර කාලයේ Dead by Sunrise සහ Stone Temple Pilots සංගීත කණ්ඩායම් වලටද සිය ගායනයෙන් සහාය වූවා.
Chester Bennington වයස අවුරුදු 11 වන විට ඔහුගේ දෙමාපියන්ගේ විවාහය දෙදරා යන අතර Chester ට ජීවත් වීමට සිදුවන්නේ ඔහුගේ පියා සමගයි. දෙමාපියන්ගේ

වෙන්වීමත් සමග Chester මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹුනු බවත් ඔහු පසු කලෙක පවසා සිටිනවා.
Chester ගේ සංගීත දිවියේ හොඳම කාලය ගත වෙන්නේ Linking Park සංගීත කණ්ඩායම සමගිනි. 2000 වසරේදී Hybrid Theory සංගීත ඇල්බමය හරහා ලෝකය පුරා

සිය සංගීත හැකියාවන් පතුරුවමින් ජීවිතාවසානය දක්වා සංගීත ඇල්බම 8කටත් වඩා සිය ගායනයෙන් එළිදක්වනවා. Grammy සම්මාන, ගීත දර්ශක වල ඉහළම ස්ථාන වල පිහිටවමින්

Linking Park සංගීත කණ්ඩායම ලොව පුරා රසිකයන්ගේ හදවත් දිනාගන්නේ Chester Bennington ගේ අපූර්ව ගායන හැකියාව නිසාවෙනි.
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය සහ මත්පැන් ලෝලියෙකු වූ නිසා Chester සිය ජීවිත ගමන වසර 41කට සීමා කරගත්තේ ලෝකයම හඬවමිනි. Chester කුඩා අවදියේදී සිදුවූ අපචාරයක්

හේතුවෙන් අධික ලෙස මානසික පීඩා විඳි බව පසු කලෙක ඔහු පවසා සිටින්නේ අදාළ අපචාර කරුගේ විස්තර හෙළි නොකරමින්. ඒ හේතුවෙන් විශාදයෙන් පෙළෙමින් සහ අධික ලෙස මත්ද්‍රව්‍ය

භාවිතයට යොමු වූ බවත් පවසා සිටියා.
Chester Bennington සංගීත දිවිය ආරම්භ කරන්නේ Soundgarden සංගීත කණ්ඩායමේ Chris Cornell ආදර්ශයට ගනිමින්. පසු කලෙක Chris cornell ගේ

හොඳම මිතුරා බවට පත් වෙන්නේද Chester Bennington ය. 2017 මැයි මාසයේ Chris Cornell සිය ජීවිතයට සමුදෙන්නේ ද ලොව පුරා රොක් සංගීත ලෝලීන් හඬවමිනි. සිය

හොඳම මිතුරාගේ උපන් දිනය දා එනම් ජූලි 20 දිනයේදී Chester Bennington සිය ජීවිතයට සමු දෙන්නේ ලිපියක් හෝ සටහනක් නැතිවම වීම ලොව පුරා සංගීත ලෝලීන් කුතුහලයට

පත් කරමින්ය. කෙසේ වුවත් Chester Bennington ගායනයෙන් Linking Park සංගීත කණ්ඩායමේ ගීත ලොව පුරා හදවත් තුල සදාකාලිකව තැන්පත් වී ඇති බව නිසැකය.

Chester Bennington ඔබට සුබ ගමන්!!!

Tuesday, July 11, 2017

DOOR TO HELL

ගිනිගෙන දැවෙන අපායට ගොස් පණ පිටින් ආ මිනිසා.

ජෝර්ජ් කොරෝනිස් නම් වන ඔහු කැනේඩියානු ජාතිකයෙකි. ගවේශණයේ යෙදීම හා ත්‍රාසජනක ක්‍රියාවල නිරත වීම ඔහුගේ වෘත්තීයයි. ඔහු මිනිස් ඉතිහාසයේ ඉතාමත් සංකීර්ණම ත්‍රාසජනක ක්‍රියාවේ යෙදෙන්නේ සිය ජීවිතයද පරදුවට තබමිනි. ටර්ක්මේනිස්ථානයේ උතුරු කාන්තාරයේ පිහිටා තිබෙන 'අපායේ දොරටුව' (Door to Hell) නමින් හැඳින්වෙන ලාවා ආවාටයට ඇතුල් වීම ජෝර්ජ් කොරෝනිස් ගේ අරමුණයි.
මෙම කිනිකඳු විවරය මීටර් 69ක් පළලින්ද මීටර් 30ක් ගැඹුරින්ද යුතු වන අතර උණුසුම සෙල්සියස් අංශක 1000කට අධික අගයකි. එය 1971 සිට අද වන තුරුත් සක්‍රීය මට්ටමින් දැවෙමින් පවතින්නේ මිහිමත අපායක් මවමිනි. එම නිසාම මෙයට අපායේ දොරටුව ලෙස නම් කර ඇත.
ව්‍යාපෘතියේ කටයුතු සැලසුම් කිරීමට දින 18ක් ගතවන අතර අවසාන දිනයේදී ජෝර්ජ් කොරෝනිස් ආවාටයට ඇතුල් වීමට සියල්ල සූදානම්ය. මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වූයේ මෙවැනි දැවෙමින් පවතින අධික උණුසුම් පරිසරයක ජීවයක් පැවතීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමයි. ඒ වෙනුවෙන් පස් සාම්පලයක් එකතු කර ගැනීම විද්‍යාඥයින්ගේ අභිප්‍රායයි. අවසානයේ උෂ්ණත්වයට හා ගින්නට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් ඒ වෙනුවෙන්ම නිපදවූ ආරක්ෂිත ඇඳුමකින් සැරසුනු ජෝර්ජ් ආවාටයට පිවිසෙන්නේ විශේෂිත රැහැන් පද්දතියක උදව්වෙනි.
ආවාටයේ අඩියටම පා තබන ජෝර්ජ් නැවත මතු වන්නේ විද්‍යාගාර පර්යේෂණ සඳහා අවශ්‍ය වූ පස් සාම්පලයද සමගයි. ආවාටයට ඇතුලුවීමට පෙර තමන් හට කවරදාකටත් වඩා චකිතයක් ඇති වූ බව පවසන ජෝර්ජ් වැඩිදුරටත් සඳහන් කර සිටියේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක ජවනිකාවක් මෙන් එම ගමන තමන්ගේ අත්දැකීමක් වූ බවයි.
පසුව කරන ලද විද්‍යාගාර පර්යේෂණ වලදී එම පස් නියැදි වල සිටි විශේෂිත බැක්ටීරියාවක් සොයාගනු ලබනවා. ඒ ගැන සඳහන් කරමින් විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටින්නේ එවැනි බැක්ටීරියාවක් පෘථිවියේ කිසිම ස්ථානයකින් හමු වී නැති බවත් එයට අධික උණුසුම් සහිත ස්ථානවල සිටීමේ විශේෂ හැකියාවක් පවතින බවත්ය. එමඟින් මෙවැනි උණුසුම් ග්‍රහලෝක වල ජීවය පැවතීමට ඇති හැකියාව තවත් තහවුරු කරමින් ජෝර්ජ් සාර්ථකව සිය කාර්යය නිමා කරනවා.







Monday, June 19, 2017

Nirmani Cealings


පරදින මැච් දිනවන සුපිරි දඟ පන්දු යවන්නා සමඟ දිනන මැච් බලන්න ලෑස්තිවෙන්න.

1996 න් ආරම්භ වූ  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ සිට මේ මෑතක් වන තුරුම ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථාන කිහිපය අතර රැදෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ අසමසම දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්කම් දැක්වූවා. එහෙත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උදාවී ඇත්තේ කිසිවෙක් සිහිනෙකින්වත් නොසිතූ තත්වයක්. ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල 8 වන ස්ථානය දක්වා පහත වැටුණු ශ්‍රී ලංකාව තවත් එක් ස්ථානයකින් පහත වැටුණහොත් එළඹෙන ලෝක කුසලානය ස‍දහා ක්‍රීඩා කිරීමට නම්, සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගී ඉන් ජයග්‍රහණ ලැබිය යුතුව තිබෙනවා.
ලෝකයේ අංක එකේ ක්‍රිකට් කණ්ඩායම බවට කලක් පත්ව සිටි ශ්‍රී ලංකාව මෙතරම් අඩියකට ඇද වැටුණේ ඇයි?  ඒ.. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් මුල් පෙළ තරග වලින් හා පාසල් මට්ටමින් බිහි නොවන නිසාද? නැතිනම් අති දක්ෂයින්ට ක්‍රිකට් ජාතික සංචිතයේ අවස්ථාවක් නොලැබීම ද? ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදරය කරන බොහෝ දෙනෙකු තුල දැන් දැන් මෙවැනි ගැටළු පැන නගිමින් පවතී.
එහෙත් ශ්‍රී ලංකාව තුල දක්ෂ ක්‍රීඩකයින් බිහි නොවනවා යැයි කීම කිසිසේත් පිළිගත නොහැකි දෙයකි. එය එසේ නොවේ යැයි කියන්නට උදාහරණ ඕනෑ තරම් දැක්වීමට හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට්වල අනාගතය ඇත්තේ අති දක්ෂ නවක ක්‍රීඩකයින් සතුව බැවින් එවැන්නන් හඳුනා ගැනිමට ක්‍රීඩාවට ප්‍රිය කරන ඔබ මහත් කැමැත්තක් දැක්වනු නිසැකයි.
මේ කියන්නට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නැවතත් ඉහළට ඔසවා තැබීමට තරම් දක්ෂතා ඇති බව මේ වනවිටත් හෙළදරව් කළ අති දක්ෂ ක්‍රීඩකයෙක් ගැනයි. ඔහු පසුගිය වසර කීපයක් පුරාම ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රිකට් තරඟවල වැඩිම කඩුළු ලාභී පන්දු යවන්නායි. වමතින් දඟ පන්දු යවන ඔහු 2012-13 සහ 2014-15 යන වර්ෂ වල දී මුල් පෙළ ක්‍රිකට් තරඟවලදී ලංකාවේ වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්නා බවට පත් වූ අතර මේ දක්ෂතා නිසාම ඔහු එම වර්ෂ දෙකේ දී ම හොඳම පන්දු යවන්නා ලෙසට සම්මානයට පාත්‍ර විය.

මේ වන විට පළමු පෙළ තරඟ 99 කට ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 558 ක්.  පළමු පෙළ කඩුළු 500ක් ඉක්මවූ පන්දු යවන්නන් අතලොස්ස අතරට එක් වූ මේ සුපිරි ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවවේ අනාගත දඟ පන්දු තරුව වීමට අවැසි සියළු සුදුසුකම් සපුරා හමාරය.
මේ වන විට 29වන වියෙහි පසුවන මේ සුපිරි ක්‍රීඩකයා නමින් මලින්ද පුෂ්පකුමාරය. ලුම්බිණී විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දයාද වූ ඔහු 2006 වසරේ දී සිංහ ක්‍රීඩා සමාජය හරහා පළමු පෙළ තරඟවලට පිවිසෙනවා. 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ICC Youth World Cup තරඟාවලිය සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාව හිමිවී තිබෙනවා. 2012 වර්ෂයේ දී වැඩිම කඩුළු ලභියා වීම නිසා  ශ්‍රි ලංකා A කණ්ඩායම නියෝජනය කිරීමමේ අවස්ථාව මුල් වරට මලින්දට හිමි වූ අතර මේ වන A කණ්ඩායම වෙනුවෙන් ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 92 ක්.
2016/17 වර්ෂයේදී හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් දවා ගැනීම් 77ක් සිදු කිරීමට මලින්දගේ විශිෂ්ට පන්දු යැවීමට හැකි වූ අතර මෙයත් සමඟම මේ වසරේ දී ත් පළමු පෙළ තරග වල වැඩිම කඩුළු ලාභියා වීමට ඔහු සමත් විය. ඔහුට පිටු පසින් සිටින ඔහුගේ ආසන්නම තරඟකරුවාට වඩා කඩුළු 20ක් වැඩියෙන් දවා ගැනීමට මලින්ද පුෂ්පකුමාර සමත් විය. එහෙත් ඔහුට මේ වසරේදී හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය හිමි නොවූ අතර එය ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකුගේ විමතියට කරුණක් විය.
වසර ගණනක් පළමු පෙළ හොඳම පන්දු යවන්නා වෙමින් කඩුළු 500 කඩඉම පසු කල මලින්දට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරිම් මුල්ම අවස්ථාව ලැබුණේ මේ මෑතකදීයි. ඒ වන විට ඔහුගේ වයස 29ක් වූ අතර ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබීමට මේ තරම් ප්‍රමාද වීම ඇත්තෙන්ම පුදුමයට කරුණකි.  කෙසේවෙතත් මෙවර ජාතික සංචිතයට මලින්ද පුෂ්පකුමාර නම් මේ විශිෂ්ට දඟ පන්දු යවන්නාගේ දස්කම් එක් කර ගැනිමට තේරීම් කමිටුවේ දෑස් විවර වේ යැයි සුවහසක් ක්‍රීඩා ලෝලින් බලාපොරොත්තු දල්වා සිටී.

ඒ මන්ද, මලින්ද වැනි ක්‍රීඩකයන් තුල ඇත්තේ සැබෑ ක්‍රිකට් උන්මාදයයි. ඔහු තුල ඇත්තේ අන් කිසිවකටත් වඩා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇති මහත් වූ අභිලාෂය යි.  එසේ නොමැති වූවා නම් ඔහු මේ තාක්කල් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන්නේ නැත.  පාසල් අවදියේ සිට මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩා කරමින් පිට පිට ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නා වෙමින් ක්‍රීඩාවේ උපරිම දස්කම් දැක්වුවත්, ඔහුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.  වෙනත් ක්‍රීඩකයෙක් නම් මේවන විටත් ක්‍රිකට් ක්‍රීඩාව හැර දමා ගොස්ය. ඒ මන්ද බොහෝ ක්‍රීඩකයන්ගේ එකම අභිලාෂය ජාතික කණ්ඩායම නියෝජනය කිරීම පමණක් වීමය. එහෙත් මලින්ද වැන්නන් ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු තුල ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ දැඩි අභිලාෂයක් හා ක්‍රිඩාව වෙනුවෙන් සිදුකරන  දැඩි කැපවීමත් පමණි.  ක්‍රිකට් බලධාරීන්ට ඇත්තේ මෙවැනි ක්‍රීඩකයන්ගේ  දැඩි කැපවීම් හා මහත් වූ අභිලාෂයෙන් ප්‍රයෝජන ලබා ගැනීම නොවේද?             
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමට නම් අවශ්‍ය වන්නේ හුදෙක් දක්ෂතාව පමණක් නොව, ක්‍රීඩාව තම සිරුරේ සෑම ලේ බිදුවක් තුලම රඳවා ගත් ක්‍රීඩකයින්ය. මලින්ද පුෂ්පකුමාර නම්  වූ මේ විශිෂ්ට දඟ පන්දු යවන්නා මේ සුදුසුකම් සියල්ල සපුරා හමාරය. දෑස් ඇති ක්‍රිඩා බලධාරීන් මොහුගේ දක්ෂතා හා කැපවීම හඳුනාගෙන ඇතුවාට කිසිඳු සැකයක් නැත. එසේ නම් මේ මලින්දගෙන් වැඩ ගත යුතු කාලයයි.

ලංකාවේ ක්‍රිකට් වලින් ගිලිහෙන කීර්තිය නැවත රැගෙන ඒමට මලින්ද පුෂ්පකුමාරට අවස්ථාවත්, දක්ෂතාවත්, ශක්තියත් මේ වර්ෂයේ දී ලැබෙනු නිසැකය. ඒ මන්ද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ සංචිතයට තේරීපත් වීමට ඔහුට වඩා සුදුසුකම් සපිරූ අන්කිසිවෙක් නොමැති නිසාය. අපේ දඟ පන්දු යවන්නන් දුටු මතින්ම ලෝකයේ ප්‍රභල පිතිකරුවන්ගේ දෙපා වෙව්ලන කාලයක් තිබුණා ඔබට මතක ඇති. මලින්ද වැන්නවුන්ගේ ආගමනය නැවතත් ශ්‍රී ලංකා දඟ පන්දුවේ විශ්මය ලොවට කියාදෙන සමයේ ආරම්භය වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටිමෙන් මහත් කණගාටුවට පත් ව සිටින ක්‍රීඩාවට ප්‍රිය කරන ඔබ සියළු දෙනාටම වින්දනීය මෙන්ම තරඟකාරී ක්‍රිකට් තරඟ නරඹන්නට නැවතත් අවස්ථාවක් උදාවනු ඇත.
මලින්ද ඔබගේ දක්ෂතාව හා අත්නොහරින ක්‍රීඩා ලෝලිත්වය මතින් ගෙනෙන ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණ දැක ගැනීම,  ක්‍රීඩාට ප්‍රියකරන අප සියළු දෙනා ඒකායන පැතුමයි..

මලින්ද ඔබට ජය...




Tuesday, April 25, 2017

මීතොටමුල්ල කුණු කන්දට ඔබත් වගකිව යුතුයි. රටට ආදරය කරනවා නම් දැන්ම කියවන්න, නිවැරදි වන්න

විශාල පිරිසකගේ ජීවිත අහිමි කරමින්, තවත් පිරිසකට දේපල අහිමිකරමින් පසුගියදා නාය යෑමට ලක්වූ මීතොටමුල්ල කුණු කන්ද අප රටේ සුන්දරත්වයේ, පිරිසිදු භාවයේ තරම ලොවට කියා පෑවේය. මෙරට පාලනය කල රජයන් මෙයට වග කිව යුතු යැයි සියළු දෙනා චෝදනා කරයි.
එහෙත් ඔබ සිහිනයකින්වත් නොසීතූ දෙයක් ඔබට වටහා දීමට දැන් කාලය එළඹ ඇත. මීතොටමුල්ලට කුණු බැහැර කිරීම ආරම්භ කොට ආසන්න වශයෙන් වසර 20ක් පමණ වන අතර එතැන් සිට මේ දක්වා කොළඹ නගරයේ එක්රැස් වූ කුණු වලින් මෙම විශාල කුණු කන්ද නිර්මාණය විය. පසුගිය වසර 20 තුල කොළඹ නගරයේ ජීවත් වූ ජනතාව පමණක් නොව එක් වරක් හෝ කෙළඹට පය තැබූ මිනිසුන් පවා මේ ඛේදවාචකයට වගකිව යුතුය. ඔබ සැම කෙළඹ නගරයට එක කසල පිඩක් හෝ බැහැර කළ ඇති බවට නොඅනුමානය.  

අප සැම ලංකාවේ විවිධ නගර වලට දිනපතා කසල බැහැර කරමින් සිටිමු. ගංඟා වලට, ඇලදොල වලට, ස්වභාවික පරිසරයට අප සැම දිනපතා කිසිම පාලනයකින් තොරව කසල බැහැර කරමින් සිටිමු. එසේ නම් මේ කුණු ප්‍රශ්නය විසඳිය හැක්කේද ශ්‍රී ලංකියන් වන අපහටම පමණි.

ප්‍රධාන වශයෙන් සියළුදෙනාම එක්විය යුත්තේ පොලිතින් භාවිතය අවම කරගැනීමටය. පහත තොරතුරු වලින් ගණනකට වත් නොගෙන ඔබ බැහැර කරන කසල බරපතලකම ඔබට දැනගත හැකිවේවි.
කොළඹ මන නගර සභාව විසින් දිනකට එකතු කරන කසල ප්‍රමාණය ටොන් 700කි. ඉන් ටොන් 42ක්ම පොලිතින් වේ.
ශ්‍රී ලාංකිකයින් දිනකට බැහැර කරන ලන්ච් ෂීට් ප්‍රමාණය මිලියන 15ක් පමණ වේ.
ලංකාව තුල දිනකට බැහැර කරන පොලිතින් බෑග් ප්‍රමාණය මිලියන 22ක් පමණ වේ.
අප බැහැර කරන පොලිතීන් ආහාරයට ගැනීමෙන් වසරකට මියයන සතුන් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ.

මුහුදට ප්ලාස්ටික් බැහැර කරන ප්‍රධාන රටවල් 20 අතර අප වැජඹෙන්නේ ලෝක වර්තා පිහිටුවමිනි.
එක් ශ්‍රී ලාංකිකයෙක් දිනකට නොදිරන ප්ලාස්ටික් ග්‍රෑම් 299ක් පරිසරයට බැහැර කරන අතර අප සැම එක්වී දිනකට ප්ලාස්ටික් කිලෝ 5163689ක් පරිසරයට බැහැර කරමු.

මේ ගැටලුවට විසඳුමක් ලබා දීමට ඔබ ආරම්භ කල යුතු කාලය දැන් එළඹ ඇත. එයට හේතුව ඔබ අතින් මේ වන විටත් සිය ගණනක් මිනිස් ඝාතන සිදුවීටත්, ලක්ෂ ගණනක් සත්ව ඝාතන සිදු වීමටත් දශමයකින් හෝ සහයක් ලැබී ඇති බැවිනි.
පහත සරල පියවර වලින් මේ ගැටලුවට ඔබට හොඳ විසදුමක් ලබා දිය හැකි වේවි.

1.  පොලිතින් නැවත භාවිතයට ගමු.

ඔබ ගෙන එන  සෑම පොලිතින් හෝ ප්ලාස්ටික් භාණ්ඩයක්ම නැවත අඩුම වශයෙන් එක් වතාවක් හෝ භාවිතයට ගන්න. එසේ සිදු කළහොත් මෙරට තුල දිනකට බැහැර කරන පොලිතින් බෑග් ප්‍රමාණය හරි අඩකින් අඩුකරගත හැකි වනු ඇත. ඔබගේ වාහනයේ, බෑග් එකේ, සාක්කුවේ නිවසට ගෙන ආ පොලිතින් බෑග් සැම විටම තබා ගන්න. ඔබ යමක් මිලදී ගන්නා විට ඔබට ලැබෙන පොලිතින් බෑග් ප්‍රතික්ෂේප කොට ඔබ ලඟ ඇති බෑග් නැවත භාවිතා කරන්න. එය සුපිරි වෙළඳ සැලක් වුවත් ඔබ මිලදී ගන්නා භාණ්ඩ ඔබ ගෙන ආ බෑග් වල රැගෙන යන්න.

 2. ලන්ච් ෂීට් භාවිතය, පොලිතින් භාවිතය නවතා දමමු.

දිවා ආහාරය ගෙන යෑමට සුදුසු කෑම පෙට්ටියක් භාවිතා කිරීමෙන් කොළඹ නගරයේ දිනකට බැහැර කරන ලන්ච්ෂීට් මිලියන 15 පමණක් නොව මුළු ලංකාව තුල  බැහැර කරන සියළුම ලන්ච් ෂීට් එක් දිනකින් ඔබට නවතා දැමිය හැක.  හැකි සෑම විටම පොලිතින් භාවිතයෙන් ඉවත් වන්න. (ඔබ කඩේට යන්නේ බිස්කට් පැකට් එකක් ගේන්න නම් එය දමා දෙන පොලිතින් බෑග් එක නැවත කඩේට දෙන්න. බිස්කට් පැකට් එක්ක ගේන්න පොලිතින් බෑග් එකක් ඇත්තට අපට අවශ්‍ය නැහැ. එය අතින් ගෙන යා හැකියි. මෙවැනි සරල තැන් වලින් පොලිතින් භාවිතය නැවැත්වීම ආරම්භ කරන්න.)
3. ඔබේ කසල හැකි සෑම විටම ඔබම ප්‍රතිචක්‍රීකරණය කරගන්න. නැතිනම් ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනයන්ට ඒ සඳහා උපරිම සහය ලබා දෙන්න.

දුම්රිය, බස්රථ වලින් එලියට ඔබගේ කසල දැමීම සම්පූර්ණයෙන් නවතා දමන්න. මහ මඟ, හෝ පාළු පෙදෙස්වල කුණු දැමීම සම්පූර්ණයෙන් නවතා දමන්න. කසල වර්ගීකරණය කොට සැම විටම කසළ බඳුන් වලටම බැහැර කරන්න. කසල බඳුන් නොමැති නම් ඔබේ කසල නිවසට රැගෙන ගොස් වර්ගීකණය කොට බැහැර කරන්න. ටෙෆී කොලයක් වත් පරිසරයට බැහැර කරන්න එපා.

4. එරෙහි වන්න, දැනුවත් කරන්න.

දුම්රිය, බස්රථ, මහමඟ අවිධිමත් ලෙස කසල බැහැර කරන අයට එරෙහි වන්න. ඔවුන් දැනුවත් කරන්න. ඔබගේ මිතුරන්, යහළුවන්, ඔබට හමුවන සියළු අවිධිමත් කසල බැහැර කරන්නන්ට එරෙහි වන්න, ඔවුන් දැනුවත් කරන්න.
මේ දැන්ම ආරම්භ කරන්න. පරිසරයට ආදරය කරන පිරිසක් ඔබ වටා නිර්මාණය කරගන්න. අවිධිමත් ලෙස කසල බැහැර කරන අයට ඔබේ කණ්ඩායම සමඟ දුම්රියේදී, බසයේදී, මහ මඟදී එරෙහි වන්න. මේ සරල පියවර 4 ඔබ දන්නා සියලු දෙනාට පවසන්න. එය ක්‍රියාත්මක කරන්න. මේ දැන් ආරම්භ කරන්න. දැන් ක්‍රියාත්මක කරන්න.
මේ ලිපිය ඔබගේ මිතුරන්ට ෂෙයා කර දැනුවත් කිරීමෙන් පළමු පියවර තබන්න.