Friday, December 30, 2016

ජනවාරි 01 සිට ලක්ෂ 8කට කර් එකක් ලංකාවේ වෙළඳපලට

‘‘කැප්ලා“ නමින් හැඳින් වූ ශ්‍රී ලංකීය විදුලි මොටර් රථ නිෂ්පාදනයක් පිළිබඳ පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා නිකුත් වුණා ඔබට මතක ඇති. කපිල ද සිල්වා නව නිපැයුම්කරුවාගේ අතින් නමවුණු මෙම මොටර් රථය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8ක මුදලකට මෙරට වෙළඳපලට නිකුත් කීරීමට සූදානම්වනවා.

පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයෙන් මගීන් හතර දෙනෙකුට සුවපහසුව ගමන් කළ හැකි මෙම විදුලි මොටර් රථය, එක් ආරෝපණයකින් කිලෝමීටර් 100ක් ධාවන කළ හැකියි. මෝටර් රථයේ බැටරිය නැවත ආරෝපණය කිරීම නිවසේ විදුලි සැපයුම හරහාම සිදුකිරීමට හැකියාව මෙම මොටර් රථයට පවතිනවා.
60% දේශීය අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවා ඇති මෙම මෝටර් රථය සඳහා පිටරටින් ආනයනය කරන්නේ මෝටර් කන්වර්ටරය හා බැටරි පමණයි. පිටරටින් ආනයනය කරන මෙම අමුද්‍රව්‍ය සඳහා රජයෙන් බදු සහන ලබා දෙන්නේ නම් ලක්ෂ 6ක මුදලකට මෙය ලබා දීමට හැකි බව නිෂ්පාදකයින් පවසනවා.
අඩි 4ක් පළලින් හා අඩි 7ක් දිගින් යුක්ත වන මොටර් රථය මුල්වරට නිෂ්පාදනය කර ඇත්තේ 2013 වසරේදීයි. පරිසර හිතකාමී නිර්මාණයක් වන මෙය ඉතා අඩු ශබ්දයක් පිටකරන අතර එක් කිලෝමීටරයක් ධාවන කිරීම සඳහා වැයවන්නේ  රු.3.50ක් තරම් අවම මුදලක් බව සමාගම පවසනවා. මෙය වායු සමනය කර ඇති අතර අන් සියලු නවීන වාහනවල ඇති අංග උපාංග බොහෝමයක් ඇතුළත්ව තීබීම ද විශේෂත්වයක්.
ත්‍රිරෝද රථයකට වඩා වැඩි සුවපහසුකින් මෙන්ම අඩු වියදමක්දමකින් මෙම විදුලි මෝටර් රථයේ ගමන් කළ හැකි වීම නිසා ත්‍රිරෝද රථවලට ඉතා හොඳ දේශීය විකල්පයක් වනු ඇති බව නිෂ්පාදකයින් පවසනවා. ත්‍රිරෝද රථ සඳහා දිනකට ලංකාව තුල ඉන්ධන ලීටර් මිලියන 262 පමණ භාවිතා වන අතර කැප්ලා මෝටර් රථය භාවිතයට පැමිණීම නිසා විශාල ඉන්ධන ප්‍රමාණයක් දැවීම නිසා පරිසරයට සිදුවන හානිය මඟ හරවා ගත හැකියි.
මෙම මොටර් රථය තවදුරටත් වැඩි දියුණු කිරීමට හැකියාව පවතින අතරම එලෙස වැඩි දියුණු කිරීමෙන් පැයට කිලෝමීටර් 100ක වේගයක් දක්වා උපරිම වේගයක් ලබා ගැනිමට හැකියාව ඇති බව සමාගම පවසනවා.


ඒත් සමඟම කැප්ලා සමාගම ගුවන් තොටු‍පළ, උද්භිද හා සත්ත්ව උද්‍යාන, ගොල්ෆ් පිටි ආදියේ සංචාරය යොදා ගත හැකි විදුලි මොටර් රථයක්ද ලබන ජනවාරි පළමු වැනිදා සිට ලක්ෂ 10ක මුදලකට වෙළඳපලට නිකුත් කිරීමට නියමිතයි.

Wednesday, December 28, 2016

PIN අංක අතින් ටයිප් නොකර ෆොන් කාඩ් දාගන්න කැමතිද?



ෆොන් එක රීචාර්ජ් කරගන්න ගියාම කරන්න වෙන කම්මැලිම වැඩේ තමයි කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න එක. සමහර වෙලාවට අපි අතින් PIN අංකය වැරදියට ටයිප් වෙන අවස්ථාත් ඕන තරම් තියනවා.
ඒත් මේ කරදරෙන් මිදෙන්න හොඳ තාක්ෂණික විසදුමක් දැන් ඉදිරිපත් වෙලා තියනවා. හදුන්වාදෙන Quick recharger කියන Android App එකෙන් ෆොන් රීචාර්ජ් කාඩ්   දානකොට අපි කාටත් ඇති වුණ ඒ අපහසුතාව නැති කරන්න හැකියාව ලබාදි තිබෙනවා.

මේ නවතම APP එක හරහා ෆොන් එක රීචාර්ජ් කරගන්වා නම්, ඔයාට කරන්න තියෙන්නේ ෆොන් එකේ කැමරාවට කාඩ් එකේ PIN අංකය යොමු කිරීම පමණයි. මේ විදහට යොමු කරන රීචාර්ච් කාඩ්පතේ PIN අංකය App එක මඟින් ස්වයංක්‍රීයවම හඳුනාගන්නවා.  PIN අංකය නිවැරදිව හඳුනාගත්තට පස්සේ "Dial Now" විධානය ලබාදිමෙන් ඔබේ ගිණුම ඉතා පහසුවෙන් රීචාර්ජ් කරගන්න පුළුවන් . ඔබේ යහළුවෙකුට කාඩ්පතක PIN අංකය යැවීමට අවශ්‍ය නම් එයත් මේ හරහාම සිදුකරන්න පුළුවන්.

දැන් ඉතිං ඔබට PIN අංක අතින් ටයිප් කරන්න වගේම දුරකථන සමාගම්වලට කෝල් කරන්න හෝ මැසේජ් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ සේවාව Dialog, Mobitel, Etisalat හා Airtel යන දුරකථන ජාල සඳහා මේ වනවිටත් ලබා දී තිබෙන අතර නුදුරේදීම Hutch පාරිභෝගිකයන් සඳහා ද සේවාව ලබාදෙන්න මෙහි නිර්මාණකරුවන් බලාපොරොත්තු වෙනවා.

Quick recharger app එක මෙතනින් ලාබගන්න පුළුවන්

Tuesday, December 27, 2016

ඉන්දියාවේ අග්නි 5 චීනයට අභියෝගයක් ද?

ඉන්දියාව නිෂ්පාදනය කළ නවීනතම අග්නි-5 අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ අබ්දුල් කලාම් දූපතේදී ඉතා සාර්ථකව අත්හාදා බලනු ලැබුවා.


දිගින් මීටර් 17ක් පමණ වන මෙම මිසයිලය ටොන් 50ක බරින් යුක්ත වන අතර කිලෝමීටර් 5000 ක් දුරින් පිහිටි ඕනෑම ස්ථානයක් වෙත කිලෝ 1000ක බරින් යුතු  පුපුරන ද්‍රව්‍ය රැගෙන යාමට මෙයට හැකියි.
අග්නි-5 මිසයිලයෙන් පාකිස්තානය ඇතුළු දකුණු ආසියාව, උතුරු චීනය ඇතුළුව චීනයේ බොහෝ ප්‍රදේශ හා යුරෝපයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකි බවද ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.

අග්නි -5 මිසයිලය සාර්ථක වීමත් සමඟ කිලෝමීටර් 5000 ඉක්මවා ප්‍රහාර එල්ල කල හැකි අන්තර් මහද්වීපික දිගුදුර මිසයිල ශක්තිය ඇති රටවල් කිහිපය අතරට ඉන්දියාවද එක්වනවා. එම හැකියාව සහිත අනෙකුත් රටවල් වන්නේ රුසියාව, ඇමරිකාව, චීනය, එංගලන්තය සහ ප්‍රංශයයි.

ඉන්දියානු ආරක්ෂක සංවර්ධන ආයතනය විසින් අග්නි -5 නිෂ්පාදන කටයුතු සිදුකර ඇති අතර මේ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 2500ක් පමණ වැය වී තිබෙනවා. මෙම මිසයිලය ඉන්දියානු සන්නාහ සන්නද්ධ බලකායට එක් කිරීමට නියමිතයි.
ලෝකයේ දැනට භාවිතා වන බොහෝ රේඩාර් පද්ධති මඟහරිමින් ගමන් කිරීමට මෙම මිසයිලයට හැකියාව පවතින බව එහි නිෂ්පාදකයින් පවසනවා.
අග්නි -5 මිසයිලය ප්‍රහාරයක් සඳහා දියත් කිරීමට බලය ඇත්තේ ඉන්දීය අගමැතිවරයාට පමණයි. ඔහුගේ සෘජු අණ කිරීමකින් තොරව මෙය දියත් කිරීමට ආරක්ෂක අංශවලට නොහැකියි.

ඉන්දියාවේ අග්නි 5 මිසයිලය අත්හාදා බැලීම පිළිබඳව වඩාත් උනන්දුව දැක්වූයේ අසල්වැසි චීනයයි. කෙසේවෙතත් චීන ආරක්ෂක අංශ සතු මිසයිල ශක්තියට අග්නි 5 එතරම් බලපෑමක් නොවනු ඇති. මේවන විටත් චීනය සතුව න්‍යෂ්ටික මිසයිල 250ක් පමණ තිබෙන අතර ඔවුන් සතු  Dongfeng 5A නැමති දිගුදුර මිසයිලයට කිලෝමීටර් 13000 ක් දුරින් ඇති ඉලක්ක වෙත ලඟාවිය හැකියි.


ඉන්දියාව අග්නි 6 නමින් තවත් මිසයිලයක් මේවන විටත් සැලසුම් කරමින් තිබෙන බව දැනගන්නට ලැබෙනවා. එම මිසයිලයට කිලෝමීටර් 8,000-10,000ක දුරින් පිහිටි ඉලක්කයක් ලබා ගත හැකිවන ලෙස නිෂ්පාදනය කිරීමට නියමිතයි.
දැනට ලෝකයේ ප්‍රභලතම මිසයිල ශක්තිය ඇති රට වන්නේ රුසියාවයි ඔවුන් සතුව ඇති R-36M මිසයිලයට කිලෝමීටර් 16000ක් දුරින් ඇති ඕනෑම ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කළ හැකියි.


මේ වනවිට ඉන්දියාව සතුව කිලෝමීටර් 700ක ඉලක්කයක් ලබාගත හැකි අග්නි 01, කිලෝමීටර් 2000ක ඉලක්කයක් ලබාගත හැකි අග්නි 02, කිලෝමීටර් 2500ක ඉලක්කයක් ලබාගත හැකි අග්නි 03 හා අග්නි 04 යනුවෙන් මිසයිල පද්ධති හතරක් පවතියි. ඊට අමතරව කෙටිදුර ඉලක්ක වෙත ගමන් කළ හැකි පෘත්වී හා ධනුෂ් නමින් මිසයිල පද්ධතියක්ද වනවා.

Monday, December 26, 2016

රිටිගල අංගම් ශිල්පයට උපත දුන් මහසෝන් යක්ෂයා කවුරුන්ද?

වසර 30000ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇතැයි සැලකෙන හෙළ අංගම් සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ රාවණ රජුගේ සමයයි. ඉන්පසු ලාංකීය ඉතිහාසයේ අංගම් සටන් කලාව හා බැඳි ප්‍රභලම නාමයක් වෙතොත් ඒ ‘‘රිටිගල ජයසේන“ නම් යක්ෂ සේනාධිපතියාගේ නාමයයි.  දුටු ගැමුණු යුද්ධයේදී අතිශය වැදගත් සන්ධිස්ථානයක් වූ විජිතපුර සතුරු බලකොටුව දිනා ගැනීමට රිටිගල ජයසේන යක්‍ෂ සේනාධිපතියා හා ඔහුගේ සේනා පිරිවරගේ සහය දුටුගැමුණු කුමරුට ලැබුණි. මෙම රිටිගල යක්‍ෂාධිපති රිටිගල අංගම් හරඹයේ ආරක්‍ෂකයාටද වන්නේය. ඔහුගෙන් පැවත එන මෙම ශිල්ප පිළිබඳ සුවිශේෂී පුරාවෘත්තයක් රිටිගල අංගම් හරඹ ශිල්පය තුළ වේ.

එම පුරාවෘත්තය මේ ආකාර වේ. රිටිගල මහකන්ද අසල පුංචි ගමකි. එය නම්න් කළු එබේනම් වේ. මේ ගමේ පුංචි පවුලක් වාසය කළේය. මව පියා සහ පුතු මේ පවුලේ සාමාජිකයෝ වූහ. මේ කුඩා දරුවාගේ නම ජයසේනයි. පියාට විශාල ගව පට්ටියක් සිටියේය. මවගේ කාර්යය වූයේ මේ ගවයන්ගෙන් ගන්නා කිරි මිදවීමයි. දිනක් කිරි හරක් පට්ටිය දක්කාගෙන එන ජයසේනගේ පියාට කඩුල්ල ලඟදී කෙනෙක් පහර දුන්හ. ජයසේනගේ පියාත් නොහදුනන පුද්ගලයා සමග සටනට වැදුණි. අන්තිමේදී සතුරු පුද්ගලයාගේ බලවත් කම පෙන්වමින් ජයසේනාගේ පියාව අහසට ඔසවා පොළවේ ගසා මරා දමන ලදී. පුංචි ජයසේන මේ සිද්ධිය බලා සිටියේය. තම පියා මරා දැමූ මේ ආගන්තුකයා මව දෙසට එමින් සිටිනු දක්නා ලදී. සිද්ධිය වූ දෙසට පිටුපා හට්ටිවලට කිරි වත්කරමින් සිටි ජයසේනගේ මව මේ කිසිවක් දැන සිටියේ නැත. තමා සකස්කළ කිරි හටිටි පාගා පොඩි කරමින් තමා දෙසට එන පුද්ගලයා දුටු මව බියට පත්විය. එක් කිරි හට්ටියක් තමා දෙසට ළංකර ගනිමින් එය තමාගේ පුතාට යැයි කියා එය විනාශ නොකරන ලෙස කියත්ම මවට පහදී මරා දමන ලදී. ආගන්තුකයා ආපසු හැරී වනගත විය.

මේ සිද්ධිය පුංචි ජයසේන සියැසින් දුටුවේය. මිය ගිය මවත් පියාත් දේවත්වයට පත් විය. පුංචි ජයසේන තරුණයෙක් බවට පත්වන තෙක් දේවත්වයේ සිටින දෙමාපියන් ඔහු රැකබලා ගත්තේය. තරුණ වියට පත් ජයසේනගේ සිතෙහි තැන්පත් වූයේ එකම බලාපොරොත්තුවකි. ඒ දෙමාපියන් තමා ඉදිරියෙහි ඝාතනය කළවුන්ගෙන් පළිගැනීමයි. දිනක් තමාගේ අවශ්‍යතාව ජයසේන ආරක්ෂක දේවතාවන් ලෙස පෙනී සිටින දෙමාව්පියන්ට සැලකර සිටියේය. ඔවුහු මොහුගේ අදහස දැන් මහත් කම්පාවට පත්වූහ. තරුණ ජයසේනට මේ අදහස අත්හරින ලෙස ඉල්ලීම් කළමුත් එය අසාර්ථක විය. එදා තමන්ව මරා දැමුවේ මහසෝන් යක්‍ෂයා බවත් ඔහු සමග සටන් කිරීම තබා මුණගැසීමටවත් නොසිතිය යුතු බවත් ඔවුහු ජයසේනට සැලකර සිටියහ. නමුත් ජයසේනගේ අදහස වෙනස් කිරීමට ඔවුනට නොහැකි විය. තම දිවිය දෙවැනි කොට තම දෙමව්පියන් මැරූ පළිය ගැනීමට ඔහු තීරණය කළේය. පසුව දෙමාපියන් තම පුතුගේ ජීවිතය බේරා ගැනීමේ අභිප්‍රාය පෙරදැරිව මහසෝනාට දඬුවම් දීමට ක්‍රමයක් යෝජනා කළහ.
එය මෙසේය. ජයසේනගේ ශරීරයට මහසොහොන් යක්‍ෂයා ආරූඪ කරගෙන මහ විශාල පාපකර්ම සිදු කරමින් මහසෝනාට පව් පුරවා අපායට යැවීමයි. ඒ යෝජනාවට තරුණ ජයසේන එකඟ විය. මවගේත් පියාගේත් උදව් ඇතිව මහසෝහොන් යක්‍ෂාධිපතියාව ජයසේන විසින් ආරූඪ කරගන්නා ලදී. ඉන්පසු ප්‍රදේශයේ සතා සිව්පාවා මරමින් රිටිගල වනය හරහා යන එන මිනිසුන් මරමින් නිවාස හා අනෙකුත් දෑ විනාශ කරමින් පාප කර්මයෙහි නියැලිණි. මෙසේ කරමින් දින, සති, මාස, අවුරුදු ගතවිය. ජයසේන යක්ෂයෙක් වෙලායැයි මිනිසුන් අතර බිය පැතිරී ගියේය. ඔවුන් දන්නේ තරුණ ජයසේන මෙම විනාශකාරී කටයුතු කරන බවයි. මහසෝනා ආරූඪ වී ඇති බව නොදන්නා මිනිසුන් ජයසේන යන නාමයට පවා බියට පත්විය. ප්‍රදේශය ජන ශූන්‍ය විය. මේ අතරේ කොපමණ පාප කර්මයන් සිදු කළත් මහසෝනා අපායට නොයන බවත් මහසෝනාගේ කර්ම ශක්තිය අනුව මෙවැනි විනාශකාරී ක්‍රියාවන් කල්ප ගණානාවක් වුවත් කළ හැකි බවත් ජයසේනගේ මවත් පියාත් දැනගත්හ. ඒ නිසා මහසොහොන් ආරූඪයෙන් ඉවත්විය යුතු බව මව සහ පියා ජයසේනට දන්වා සිටියහ. කිසිදා මේ වෛරය පිරිමැසිය නොහැකි බවත් ජයසේනට තේරුම් ගියේය. ඒ නිසා දේවත්වයෙන් සිටින දෙමාපියන්ගේ බසට අවනත වී ආරූඪයෙන් ඉවත් වීමට ජයසේන උත්සාහ ගත්තේය.
එනම් එය කළ නොහැකි දෙයක් බවට පත්වී හමාරය. මහසෝනා විසින් ජයසේනගෙන් ඉවත්වීම ප්‍රතික්‍ෂේප කෙරිණි. ඔවුන් දෙදෙනොගේ බැඳීම එතරම් ශක්තිමත් වී තිබුණි. පසුව මේ පව්කාර ජීවිතයෙන් මිඳීමටත් මිනිසුන්ගේ බිය නැතිකර පෙර තිබූ ආකාරයට අවට පරිසරය පත් කිරීමටත් තමාන් මිය යා යුතු බව ජයසේන තීරණය කළේය. ඒ අභිප්‍රායෙන් ජයසේන ගෝඨයිම්බර යෝධයා සමග සටනකට මුලපිරුවේය. පසුව මෙම සටන විශාල ජන සංඛ්‍යාවක් ඉදිරියේ රිටිගලදී සිදුවිය. මෙහිදී ගෝඨයිම්බර අහසට නැඟ ඔල්ල කළ පා පාහරින් ජයසේනගේ හිස කඳින් වෙන් වී මැරී වැටුණි. මේ දර්ශනය දුටු මිනිසුන් ප්‍රීතිඝෝෂා නැඟූහ. නැවත තමන්ට කරදරයකින් බාධාවකින් තොරව ජන ජීවිතය ගෙන යා හැකි යැයි සැනසුම් සුසුම් හොලූහ. රිටිගල අවට ගම්මාන යථා තත්වයට පත් විය. 

ජයසේන යක්‍ෂ ආත්මයක් ලබා රිටිගල වනයේ සැඟවී ගියේය. තමන් සිදුකල පාප ක්‍රියාවලින් මිදීමට භාවනාවේ යෙදී රිටිගල වන අරණ වාස භූමිය කරගත්තේය. නැවත පව් නොකොට මිනිසුන්ගෙන් සතුන්ගෙන් දුරස් වී සැඟවී සිටියේය.
පසු කාලයක ඉන්දියාවේ මාලයාල දේශයේ සිට පැමිණ රිටිගල හරහා ගමන් කරමින් සිටි ශාස්ත්‍රකරුවෙකුගේ ඥානයට රිටිගල සැඟවීසිටින බලවත් යක්‍ෂයකුගේ ඉඟියක් ලැබුණි. ඔහු ඒබ ව තම ශාස්ත්‍රානුකූල ඥානයෙන් සොයා බැලීය. අවසානයේ දී මෙහි සැඟවී බවුන් වඩන රිටිගල ජයසේන නම් වූ යක්‍ෂ සේනාධිපති ගැන තොරතුරු සොයාගන්නා ලදී.
පසුව ඒ අවට තිබූ ගම්මානයක ගම් නායකයකුගේ සහාය ඇතිව රිටිගල වනයට වැදී ජයසේන යක්‍ෂයාව සෙවීම අරඹන ලදී. දින සති මාස ගණන් ගෙවී එක්තරා දිනයක මොවුන්ට ජයසේන යක්‍ෂ සෙනවි මුණ ගැසුණි. ඔහු බලවත් වී සිටින්නේ මහාසෝනා සමඟ එක්වී සිටින නිසා බව දත් මලයාල ශාස්ත්‍රකරු ජයසේන සතු ඒ බලය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ජයසේන යක්‍ෂයා එය ප්‍රතික්ෂේප කළේය. තමන් මේ ලැබූ බලය නිසා මහා පව්කාරයකු වී අදටත් දුක් විඳින බැවින් එය ලබා දී තවත් පව්කාරයන් බිහි නොකරන බව ඔවුන් ඉදිරියේ පෙනී සිටි ජයසේන කියා සිටියේය. නමුත් මලයාල ශාස්ත්‍රකරු මන්ත්‍ර බලයෙන් ජයසේන යක්ෂයා බන්ධනය කර ගැනීමට උත්සාහ ගනිද්දී මලයාල ශාස්ත්‍රකරුට නොව ගම් නායකයාට තමා සතු ශිල්පය ලබා දීමට එකඟ විය.

මේ ශිල්පය භාවිතා කොට පාපකර්ම සිදු නොකරන බවටත් කල්පයක් යන තුරු සටනට අධිපති සටන් දෙවියන්ට පින්පෙත් අත්කර දෙන බවටත් පොරොන්දු  කරගනිමින් ශිල්පය ලබා දෙන ලදී. ගම් නායකයා මේ ශිල්පය ලබා ගත්තේය. ඔහු ඒ ශිල්පය ලබාගත් නායක පරපුර මේ ශිල්පය නොකඩවා බොහෝ කල් පවත්වාගෙන ගියහ. පාරම්පරිකව පැවත ආ මේ සටන් ශිල්පයට උරුමය කියන නායකයා සමඟින් ජයසේනගේ ආත්මය සැරිසැරුවේය. ඒ නිසා මේ සටන් ශිල්පයේ ප්‍රබලත්වය එකලෙස පැවතිණි. රිටිගල විශුද්ධි අංගම් හරඹයේපුරාවෘත්තය එයයි.

Wednesday, December 21, 2016

අතිශය ජනප්‍රිය Lord of the Rings චිත්‍රපට තරු වසර 15කට පසු වෙනස් වී ඇති අයුරු


2001 වසරේ 2003 වසර දක්වා තිරගත වූ "The Lord of the Rings" චිත්‍රපට ත්‍රිත්වය ඔබ බොහෝ දෙනා නරඹා ඇති.  මෙතෙක් සිදු කරන ලද විශාලතම හා වඩාත් සාර්ථකම චිත්‍රපට මාලාවක් ලෙස සැලකෙන අතර The Fellowship of the Ring (2001), The Two Towers (2002) සහ The Return of the King (2003) යනුවෙන් මේවා රසිකයන් අතරට පැමිණියා. J.R.R.Tolkien නවකතා කරුවාගේ නවකතාවකට අනුව මෙම චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය කරනු ලබන්නේ Peter Jackson චිත්‍රපට අධ්‍යක්ෂක වරයා විසිනි. වසර 15කට පෙර තිරගත වූ මෙම චිත්‍රපට මාලාවේ ජනප්‍රිය වූ චරිතයන් අද වන විට වෙනස් වී ඇති අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ.
















Thursday, December 8, 2016

දෙසැම්බර් මැද දී ලංකාවට දර්ශනය වන උල්කාපාත වර්ෂාව

සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී පෘථිවියට දර්ශනය වන Geminids උල්කාපාත වර්ෂාව මේ වර්ෂයේ දීත් දෙසැම්බර් 12,13 සහ 14 දිනවල පෘථිවියට දර්ශනය වන බව නාසා ආයතනය පවසනවා.
මෙම උල්කාපාත වැස්ස වඩාත් පැහැදිලව දැකගැනීමට ලැබෙන්නේ මෙහි උච්චතම අවස්ථාව වන දෙසැම්බර් 13 රාත්‍රී 10 සිට දෙසැම්බර් 14 වැනිදා අළුයම දක්වා වන කාලය තුලයි.
සෑම වර්ෂයකම මෙවැනි උල්කාපාත වැස්සක් ඇති වීමට හේතු වී ඇත්තේ Phaethon 3200 නැමති කුඩා ග්‍රහකයයි. අසාමාන්‍ය කක්ෂයක ගමන් ගන්නා මේ ශුද්‍ර ග්‍රාහකය සෑම වර්ෂ 1.4කට වරක් හිරුට සමීපව ගමන් කරයි. එසේ හිරුට සමීප වීම නිසා ග්‍රාහකයේ කුඩා කොටස් බීදී, එම සුන්බුන් ග්‍රාහකය ගමන් කරන කක්ෂයට එකතුවීම සිදුවෙනවා. සෑම වසරකම දෙසැම්බර් මාසයේ දී පෘථිවිය එම ශ්‍රද්‍ර ග්‍රාහකයේ කක්ෂය හරහා ගමන් කිරීමේ දී එම සුන්බුන් කොටස් පෘථිවියේ ඉහළ වායුගෝලයට පැයට කිලෝමීටර් 130,000ක වේගයෙන් කඩා වැදීම සිදුවනවා.

සාමාන්‍යයෙන් වෙනත් වර්ෂවලදී පැයක් තුල උල්කාෂ්ම 120 පමණ දර්ශනය වන අතර උච්චතම අවස්ථාවේ දි ඊටත් වැඩි ප්‍රමාණයක් දර්ශනය වන බව සඳහන්. එහෙත් මෙම වසරේ දෙසැම්බර් 14 වැනිදා පායන සඳ ඉතා දීප්තිමත් බැවින් උල්කාෂ්ම බොහෝ ප්‍රමාණයක් නොපෙනී යා හැකි බව විද්‍යාඥයින් පවසනවා. එමෙන්ම බොහෝ කාලයක් තිස්සේ උල්කාපාත පොළවට වැටීම නිසා ක්ෂය වී ඇති බව ද ඔවුන් පවසනවා. එම නිසා මෙම වර්ෂයේ දී පැයකට උල්කාපාත 40ක් පමණ දර්ශනය විය හැකියි.


කෙසේවෙතත් මෙවර උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාව වාසීන්ටද පියවි ඇසින් දැක ගැනීමට හැකියාවක් පවතිනවා. මේ සඳහා විදුලි පහන් නොමැති අඳුරු ස්ථානයක් තෝරාගෙන, බිම වැතිරී විනාඩි 20-30 පමණ කාලයක් එම ආලෝකයට ඇස හුර කර ගැනීමෙන් පසු, උල්කා වැස්ස ඉතා හොඳින් නැරඹීමට පුළුවන්.


ඩොනල් ට්‍රම්ප් වසරේ පුද්ගලයා වීම ගැන සමාජජලා වෙබ් අඩවිවල දැඩි විවේචන

2016 වර්ෂයේ ලොව වඩාත්ම කැපී පෙනෙන පුද්ගලයා ලෙස  ‘Time‘ සඟරාව ඇමරිකාවේ නව ජනාධිපතිවරායා වන ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර තිබෙනවා.  . ඒ අනුව මීළඟ  Time සඟරාවේ මුල් කවරය ඩොනල්ඩ් ට්‍රම්ගේ රුව සහිතව මුද්‍රණය කිරීමට නියමිතයි.




කිසිවෙක් බලාපොරාත්තු නොවූ අයුරින්, අනාවැකි සියල්ල බොරු කරමින් පසුගිය ඇමරිකානු ජානාධිපතිවරණය ජයගැනීමත් සමඟ ට්‍රම්ප් අවිවාදයෙන්ම මේ වසරේ කැපීපෙනෙන පුද්ගලයා බවට පත්වූ බව ටයිම් සඟරාවේ කලමණාකාර කතෘවරිය පවසනවා. ඩෙනල්ඩ් ට්‍රම්ප් වසරේ පුද්ගලයා ලෙස තෝරාගැනීමෙන් අනතුරුව Time‘ සඟරාව අමතා වසරේ පුද්ගලයා ලෙස තමා නම් කිරීම ඉතා ගෞරවයක් ලෙස සලකන බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ට්‍රම්ප්ට එදිරිවාදී පිරිස් නම් මේ පිළිබඳ කැමැත්තක් නොදක්වන අතර ඔවුන් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මෙයට දැඩි විවේචන එල්ලකරමින් විවිධ පලකරීම් සිදුකර තිබුණා. මීට පෙර 1938 වර්ෂයේ හිට්ලර්, 1939 වර්ෂයේ ස්ටාලින්, 2007 වර්ෂයේ පුටින් යන තිදෙනො වසරේ පුද්ගලයන් ලෙස නම් කල පසුවත් මෙවැනි විවේචන එල්වී තිබෙනවා.





Tuesday, December 6, 2016

දුරකථන ලෝකයේ දැවැන්ත නාමයක් වූ Nokia සුපිරි ‍දුරකථන දෙකක් සමඟින් නැවතත්


ජංගම දුරකථන වෙළඳපල තුල කලකට ඉහතදී සුපිරි වෙළඳනාමයක් බවට පත්ව තිබූ Nokia සමාගම මෙතෙක් ලොව වැඩිම අලවියක් වාර්තා වූ ජංගම දුරකථන කීහිපයකම නිෂ්පාදකයාවනවා. නමුත් iPhone සහ android ස්මාර්ට් දුරකථන වෙළඳපලට පැමිණීමත් සමඟ Nokia දුරකථන එයට ගැලපෙන ලෙස යාවත්කාලීන නොවීම නිසා වෙළඳපලෙන් ඉවත්ව යන්නට සිදුවුණා. පසුව 2014 වර්ෂයේදී Microsoft ආයතනය විසින් Nokia සමාගම පවරා ගත් අතර ඔවුන් Lumia කාණ්ඩ නාමය යටතේ දුරකථන පෙලක් නිෂ්පාදනය කලත් එයටද හොඳ වෙළඳපලක් හිමි වුයේ නැහැ.
එහෙත් Nokia සමාගම නැවතත් ජංගම දුරකථන නිෂ්පාදනයට පිවිසෙන බවට මේ දිනවල මාධ්‍ය වාර්තා සිදුවෙමින් පවතිනවා. Nokia වෙළඳනාමයෙන් ඉදිරි වසර 10 තුල ස්මාර්ට් දුරකථන හා ටැබ් නිෂ්පාදනය කිරීමේ අයිතිය HMD Global සමාගම විසින් ලබා ගැනීමත් සමඟ නැවතත් Nokia දුරකථන නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.
මාධ්‍ය වාර්තාවලට අනුව Nokia සමාගම 2017 වර්ෂයේ පෙබරවාරි හෝ මාර්තු මාසයන් වලදී ඔවුන්ගේ නවතම ස්මාර්ට් ජංගම දුරකථන එළිදක්වන බව නිවේදනය කර තිබෙනවා.
Android මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙම නවතම Nokia ස්මාර්ට් දුරකථන D1C යන කාණ්ඩ නාමය ඔස්සේ වෙළඳපලට හදුන්වා දෙන අතර D1C කාණ්ඩය යටතේ මුල්ම වරට එකිනෙකට වෙනස් විශේෂාංග සහිත දුරකථන දෙකක් වෙළඳපලට හඳුන්වාදීමට නියමිතයි.

Nokia D1C පළමු මාදිලියේ විශේෂාංග
  • 5in 1080p resolution display
  • Qualcomm Snapdragon 430 1.4GHz octa-core processor
  • Adreno 505 GPU
  • 2GB of RAM
  • 16GB on-board storage
  • 13MP primary camera
  • 8MP front-facing camera
  • Android 7.0 Nougat

Nokia D1C දෙවන මාදිලියේ විශේෂාංග
  • 5.5in 1080p resolution display
  • Qualcomm Snapdragon 430 1.4GHz octa-core processor
  • Adreno 505 GPU
  • 3GB of RAM
  • 16GB on-board storage
  • 16MP primary camera
  • 8MP front-facing camera
  • Android 7.0 Nougat


Nokia සමාගමේ මෙම දැවැන්ත ආගමනය නිසා අනෙකුත් ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගම් වලට ප්‍රභල අභියෝගයක් වනු ඇති බව දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මත පළකරනවා. 2017 වර්ෂය දුරකථන වෙළඳපලේ විශාල වෙනස් වීමක් බලාපොරොත්තු විය හැකි වසරක් ලෙස ඔවුන් තවදුරටත් අදහස් දක්වා සටියා.