Friday, October 28, 2016

චීනයේ Fuxian විල් පත්ලේ ඇති අභිරහස් නගරය පිටසක්වලයින්ගේ නිර්මාණයක්ද?

චීනයේ Fuxian  විල වර්ග කිලෝමීටර් 212 පුරා පැතිර ඇති අතර චීනයේ ගැඹුරුම මිරිදිය  විල් අතරින් දෙවන තැන හිමිවන්නේ මෙයටයි. මෙහි ගැඹුරුම ස්ථානය මීටර් 155ක් පමණවනවා. ජලය හොඳින් පැහැදිලිව කැළඹිලි නොමැති දිනවල අසල පිහිටි කන්ද මත සිට Fuxian  විල දෙස බලන විට, විල් පත්ලේ නගරයක ගොඩනැගිලි වලට සමාන ඡායාවක් පැහැදිලිව දැකගත හැකි බව ප්‍රදේශවාසීන් අතර බොහෝ කාලයක් පුරා ජනප්‍රවාදයක් පැවතුණා.

දිනක් Geng Wei නම් පළපුරුදු කිමිදුම්කරුවෙක් මෙහි කිමිදෙමින් සිටින විට හදිසියේම විල්පත්ලේ ඇති අමුතු ආකාරයේ ශෛලමය ඉදිකිරීම් කිහිපයක් දැක තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු හෙළි කිරීමෙන් පසු චීන සබ්මැරීන් කණ්ඩායමක් විසින් තාක්ෂණික උපකරණ යොදා ගෙන මේ පිළිබඳ වැඩි දුර සොයා බැලීම් සිදුකළා.
ඔවුන්ගේ තාක්ෂණික උපකරණවල වර්ග කිලේමීටර් 2.4 පුරා පැතිරී තිබෙන නගරයක නටඹුන් සටහන් වුනා. ඒවා අතර  විසිරි ගිය කැටයම් කල ගල් කුට්ටි රැසක්, ගලින් නිර්මාණය කළ ප්‍රධාන ගොඩනැගිලි අටක් සහ කොලෝසියමට සමාන රවුම් ගොඩනැගිල්ලක් මෙන්ම මායා පිරිමීඩයකට සමාන උස් වූ ඉදිකිරීම් දෙකක්ද හදුනාගත හැකිවි තිබෙනවා

ඊජිප්තු පිරීමීඩවලට වඩා නිර්මාණාත්මක වූ මේවායේ ගල් කුට්ටි මත විවිධ කැටයම් හා සලකුණු යොදා තිබෙනවා. මෙම පීරමීඩවල පතුල මීටර් 60ක් පමණ පළල් වන අතර පීරමීඩ දෙක යාවන ලෙස  මීටර් 300ක් දිග මීටර් 5 ත් 7ත් අතර පළලින් යුත් ශෛලමය මාර්ගයක් ද නිර්මාණය කර තිබෙනවා.
මෙම ගල් කුට්ටි කිහිපයක සිදුකල කාබන් 14 පරීක්ෂණයෙන් මෙම නිර්මාණ වසර 1750ක් පමණ පැරණි බව පරික්ෂකයින් විසින් සොයාගනු ලැබුවා.

දිය යට පිහිටි මෙම අත්භූත නගරයක් පිළිබඳ චීන ඉතිහාස වාර්තා කිසිවක සඳහන් නොවන අතර Fuxian විල අසල පිහිටි Yuyuan නැමති නගරයක් පිළිබඳව ඉතිහාස වාර්තාවල සඳහන්. එහෙත් ක්‍රි.ව 589-907 අතර කාලයෙන් පසු එම නගරය පිළිබඳ ඉතිහාස වාර්තා සටහන් වීම නැවතී තිබෙනවා. මේ නිසා දිය යට ඇති මෙම නගරය භූමි කම්පාවක් නිසා දිය යට සැගවුණු Yuyuan නගරය බවට ඇතමෙක් අතර විශ්වාසයක් පවතිනවා.

 කෙසේවෙතත් ඉතිහාස වාර්තාවල එන පැරණි Yuyuan නගරයේ තිබූ ගොඩනැගිලි නිර්මාණය කර තිබී ඇත්තේ ලී සහ මැටි යෙදාගෙනයි. නමුත් දිය යට ඇති මෙම නගරයේ ගොඩනැගිලි ඉතා දියුණු ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ගල් වලින් නිර්මාණය කර තිබෙන නිසා මෙය ගිලී ගිය Yuyuan නගරය යැයි සීතීම අපහසු  බව සමහර දෙනෙක් පවසනවා.

මේ නිසා ඔවුන් විශ්වාස කරන්නේ ජලය හා සම්බන්ධ ජිවයක් පවත්වාගෙන ගිය පිටසක්වල ජීවීන් කොටසක් විසින් මෙම අත්භූත නගරය නිර්මාණ කරන්නට ඇති බවයි.

Sunday, October 23, 2016

අහම්බෙන් කැමරාවක සටහන් වූ සත්ව ලෝකයේ ආහාර සටන


පහත ඡායාරූප වල දැක්වෙන්නේ උකුස්සෙක් විසින් කිඹුලෙකුගේ ආහාරය වීමට ගිය මාළුවෙකු ඩැහැගන්නා ආකාරයකි. මෙවැනි සිදුවීම් සත්ව ලෝකයේ නිතර සිදුවුවත් ඒවා කැමරවට හසු වන්නේ ඉතාකලාතුරකිනි. මෙම සිදුවීම කැමරා කාචයට හසු කරගත්තේ Fanie Heymans නම් ඡායාරූප ශිල්පියා විසිනි.







බර්මියුඩා ත්රිසකෝණයේ මුහුදු පත්ලේ ඇති අභිරහස් ඉදිකිරීමක් සොයාගනී

කැරිබියන් මුහුදේ පිහිටි ලෝකයේ වඩාත් අවධානයට ලක්වූ මුහුදු කලාපයක් වන බර්මියුඩා ත්‍රිකෝණය නොවිසදුනු අභිරහස් රැසක් සිදුවූ ස්ථානයක් ලෙස ප්‍රකටයි.  විශාල නෞකා මෙන්ම ගුවන් යානා විශාල ප්‍රමාණයක් මේ අභිරහස් මුහුදු කලාපයේදී කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරම අතුරුදහන් වී තිබෙනවා. පසුගිය කාලය පුරාම සාගර ගවේෂකයින් බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසදීම සඳහා ඉතා විශාල වෙහෙසක් දැරුවත් ඒ පිළිබඳ නිවැරදි විද්‍යාත්මක අදහසක් ඉදිරිපත් කිරීමට සමත් වුයේ නැහැ.  මේ නිසා බොහෝ දෙනෙක්, බර්මියුඩා මුහුදු පත්ලේ ඇති අත්භූත බලවේගයක් නිසා මෙම අභිරහස් අතුරුදහන්විම් සිදු වන බව විශ්වාස කළා.

මේ අතර බර්මියුඩා අභිරහස පිළිබද පර්යේෂණ පවත්වන සාගර ගවේෂකයකු වන ආචාර්ය Meyer Verlag  විසින් මුහුදු පත්ලේ ඇති අත්භූත ඉදිකිරීමක් පිළිබඳ සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

 ඔහු සෝනාර් තාක්ෂණය (ශබ්ද පරාවර්තන උපකරණ) යොදා ගනිමින් කල පර්යේෂණ වල දී බර්මියුඩා මුහුදු පත්ලේ ක්‍රිස්ටල් වැනි ද්‍රව්‍යකින් නිර්මාණය කල ඉතා විශාල පිරිමීඩයකට සමාන ඉදි කිරිමක් පවතින බව සොයාගෙන තිබෙනවා.  අඩි 2000 ක් පමණ මුහුදු පත්ලේ තිබෙන බවට ගණන් බලා ඇති මෙම ඉදිකිරීම ගිසා හි මහා  පිරමීඩය මෙන් තුන් ගුණයක් පමණ විශාල වන බව ගවේෂකයින් පවසනවා. මීට පෙර 1968 දී Ray Brown නම් ගවේෂකයෙක් බර්මියුඩා මුහුදු පත්ලේ ක්‍රිස්ටල් පිරමීඩයක් ඇති බවට මුල්වරට අදහස් දක්වා තිබෙනවා.

එහෙත් මෙවැනි පිරමීඩයක් මුහුදු පත්ලේ ඉදි කිරීමට තරම් තාක්ෂණයක් තිබුණේ කුමන මිනිස් ශිෂ්ඨාචාරය සතුව දැයි තවමත් නිවැරදි මතයක් පළ කරීමට නොහැකි වී තිබෙනවා.  බර්මියුඩා ත්‍රිකොණය ආශ්‍රිතව පිහිටි ඇමරිකානු, ලතින් ඇමරිකානු රටවල ඉතිහාස මූලාශ්‍රවල ද මෙවැනි ඉදිකිරීමක් පිළිබඳ සටහන් වී නැහැ.  එහෙත් සාගර ගවේෂකයින් මෙය බර්මියුඩා  ත්‍රිකෝණයේ පිහිටි ගලාබත් වූ දූපතක ඉදිකර තිබූ පිරමීඩයක් විය හැකි බවට මත පළ කරනවා. පුරාවෘත්ත වල එන ඇට්ලැන්ටිස් වැනි ගලාබත් වූ ඉතා දියුණු නගරයක මෙම  පිරමීඩ ඉදි කර තිබෙන්නට ඇති බව ගවේෂකයින් විශ්වාසකරනවා.

මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් සූදානමින් සිටියත් මීට පෙර කිසිදු ගවේෂකයකයින් කණ්ඩායමක්  විසින් බර්මුයුඩා ත්‍රිකෝණය අශ්‍රිත මුහුදු පත්ල ගවේෂණ සිදු කර නැහැ  මේ නිසා ඔවුන් සාගර පත්ලට යැවිය හැකි රොබෝ යන්ත්‍රයක් මඟින් ගවේෂණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. නමුත් අඩි 2000ක් මුහුදු පත්ලට ගමන් කල හැකි රොබෝ යන්ත්‍රය තවමත් නිපදවා නැහැ.

Friday, October 21, 2016

මාවන් අතපත්තුගේ ක්‍රිකට් දිවියෙන් ඔබේ සාර්ථකත්වයට පාඩමක්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂණයෙන් පිරිපුන්ම පිතිකරුවා කවුරුන්දැයි ඇසුවොත් ඕනෑම අයෙකුට එක වරම මතකයට නැගෙන්නේ, මාවන් අතපත්තු බවට කිසිම සැකයක් නැහැ. ඔහුගේ පිතිකරණ විලාශය ඒ තරම්ම තාක්ෂණයෙන් අනූනයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5502 ක්ද  එක්දින ලකුණු 8529ක්ද වාර්තා කිරීමට මාවන් සමත් වූ අතර ඔහුගේ නායකත්වය යටතේ  මව්බිමට ජයග්‍රහණ රැසක් අත් කර දීමට ද සමත් වුණා.

ඇත්තෙන්ම ඔහු තම මව්බිමට අභිමානයක් ගෙන දෙමින් මව්බිම වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට  සමත් වූ අතිශය සාර්ථක පුද්ගලයෙක් බවට පත් වී හමාරයි.  නමුත් මාවන්ගේ සාර්ථකත්වයේ කතාව ඔබ සිතන තරම් මිහිරි අද්දැකීම් වලින් පිරිපුන් එකක් නොවේ.  මාවන් ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් කළ කැපකිරීම,  සාර්ථකත්වය හඹා යන, සාර්ථක පුද්ගලයෙක් වීමට දැඩි උවමනාවක් ඇති බොහෝ දෙනෙකුට  පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් කිසිදා ඉගෙනීමට නොලබන ඉතා වටිනා පාඩමක් කියාදෙනවා. සාර්ථකත්වයට පත් වීමට දැඩි ලෙස කැපවුවත් ඒ  හැම විටම ඔබට අත් වූයේ පරාජය පමණක් නම්, නැවත වරක් උත්සාහ කීරීමට පෙර මාවන්ගේ සාර්ථකත්වයේ  කථාව වරක් සිහියට නගා ගන්න.
සාර්ථකත්වයට පත් වීමට  දැඩි උවමනාවක් තිබේ නම්, පරාජය වීම් හමුවේ  කිසි කලෙකවත් සාර්ථකත්වය යටපත් නොවනු ඇත.
මේ මාවන්ගේ සාර්ථකත්වයේ කතාවයි
1990 දී වයස අවුරුදු 20 වූ  මාවන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට  සහභාගී වීමට අවස්ථාව උදාවෙනවා. එම තරගය ඉන්දියාවට එරෙහිව පැවැත් වූ අතර මාවන් අංක 07 පිතිකරු ලෙස පිටියට පිවිසියා. නමුත් ඔහුගේ පළමු ඉනිමේදීම කිසිදු ලකුණක් වාර්තා කිරිමට ඔහුට නොහැකි වුණා. නැවතත් දෙවැනි ඉනිමේදි  ඔහුගේ අවස්ථාව උදාවුණා. පළමු ඉනිමේ අසාර්ථකත්වයෙන් ගැලවීමට හා කණ්ඩායමේ තවදුරටත් රැදී සිටීමට ඔහු උපරිමයෙන් මෙම ඉනිම ක්‍රීඩා කල යුතු වුණා. එහෙත් අවසනාවන්ත ලෙස එම ඉනිමේදීත් ඔහුට එක් ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වුණා. ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.
පළමු තරගයේ අසාර්ථක වීම හමුවේ මාවන් ඔහුගේ සිහිනය අත් හැර දැමීමට කිසිසේත් සිතුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පුහුණු වීම් සඳහා දැඩි ලෙස කැපවුණා. මේ හේතුවෙන් පළමු  පෙළ තරඟවලදී ලකුණු අතරට පිවිසීමට මාවන්ට හැකිවුණා. පළමු පෙළ දැක්වූ දක්ෂතා නිසා මාස 20කට පසු නැවතත් මාවන්ට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරිමට දෙවන අවස්ථාවක් උදාවුණා.

තරඟයේ පළමු ඉනිම  මාවන්ට ඉතා වැදගත් එකක් වුණා. මේ අවස්ථාවේ ඔහු දැඩි උත්සාහයක නිරත වුවත් ප්‍රතිඵලයේ වෙනසක් සිදු වුණේ නැහැ. මාවන් නැවතත් ලකුණු 0 කට දැවීගියා. තරඟගේ දෙවැනි ඉනිම, දක්ෂතා දැක්වීමට ඔහුට තිබුණු අවසන් අවස්ථාව වුවත් එම ඉනිමේදී මාවන්ට ලබා ගැනීමට හැකි වුණේ එක් ලකුණක් පමණයි. මාවන්ට නැවතත් කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.
ක්‍රිකට් ක්‍රීඩකයකුට මේ තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් නැති තරම්.  ක්‍රිකට් සිහිනය අතහැර දැමීමට පාරාජිතයෙකුට නම්, මේ වේදනාකාරී අත්දැකීම හොදටම ප්‍රමණවත්වනවා. එහෙත් මාවන්ගේ දැඩි උවමනාව පරාජය කරන්න ඒ අසාර්ථකවීම් කිසිසේත්ම ප්‍රමාණවත් වුයේ නැහැ. ඔහු නැවතත් දැඩි කැපවීමෙන් පුහුණු වීම් ඇරඹුවා. පළමු පෙළ තරඟවල  දී  නැවතත් ලකුණු අතරට පිවිසියා. මේ දක්ෂතා නිසා මාස 17කට පසු මාවන්ට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට මහත් අශාවෙන් බලා සිටි අවස්ථාව උදාවුණා.

මේ ඔහුගේ තුන්වන අවස්ථාවයි. මේ අවස්ථාවෙදීත් ඔහුට ඉනිම දෙකේම පිතිකරණයේ යෙදීමට අවස්ථාව හිමි වුණා. මේ අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඇතැයි ඔබ සිතනවාද? ඇත්තෙන්ම නැහැ. මේ තරඟයේදීත් ඔහුට පෙර පරිදිම ඉනිම දෙකේදීම ලකුණු නොලබාම දැවීගියා. නැවතත් ඔහුට  කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවුණා.
මේ තරම් අසාර්ථක වීම් සාමාන්‍ය අයෙක්ට සිදු වුණා නම්, සිදුවන්නේ උත්සාය අත්හැර දැමීමයි. නමුත් මාවන්ට තිබුණේ සාමාන්‍ය සරල සිහිනයක් නොවේ. ඔහු සිහිනය අතහැර දැමීම වෙනුවට අසාර්ථකත්වයට හේතු සොයන්නට පටන් ගත්තා.  ඔහුගේ අඩුපාඩු ටිකෙන් ටික මතුකර ගැනීමට ඔහු සමත් වුණා. ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සරිලන අයුරින් පිතිකරණයේ තාක්ෂණය වර්ධනය කරගත යුතු බවත් ඊට අදාලව මානසික මට්ටම  වර්ධනය කරගත යුතු බවත් ඔහු නිගමනය කළා. අඩු පාඩු හදුනාගත් මාවන් නැවතත් ඔහුගේ අරමුණ වෙනුවෙන් වැඩ ඇරඹුවා. පිතිකරණයේ තාක්ෂණය වර්ධනය කරගැනීම උදෙසා උපරිම උත්සාහයක නිරත වුණා.
වසර තුනකට පසු ඔහුගේ කැපවීමට ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගත්තා. නැවතත් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවුණා.
ටෙස්ට් තරඟයක ලකුණක් වාර්තා කිරීමට වසර ගණනක් තිස්සේ බලා සිටිමින් දැඩි වෙහෙසක් දැරූ  මාවන් ඒ වන විට පිතිකරණ තාක්ෂණය අතින් ඉතා ඉහල මට්ටමටක පැමිණ සිටියා. ඒ හේතුව නිසාම මාවන් එම තරගයේදි ලකුණු අතරට පිවිසියා. එක් ටෙස්ට් ලකුණක් වෙනුවෙන් වසර 6 ක් බලා සිටීමට සිදුවූ ඔහු අවසානයේ ශතක 16ක් හා ද්විත්ව ශතක 06 ද අතුලත්ව ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 ඉක්මවා වාර්තා කළා. පසුව කණ්ඩායමේ නායකත්වය දක්වාම ගමන් කළ ඔහු ටෙස්ට් හා එක්දින තරඟ විශාල ප්‍රමණයක් ජයග්‍රහණය කිරීම උදෙසා කණ්ඩායමට නායකත්වය ලබාදීමට සමත් වුණා.

ඔබ කොයි තරම් දුරට අසාර්ථකවීම් හමුවේ නොසැලී සිටිය හැකි අයෙක්ද? අවුරුදු 06ක් පසුබෑම් වලට හා පරාජයන්ට ලක්වෙමින් එකම අරමුණක් වෙනුවෙන් මෙසේ කැපවී වැඩකල හැකිද? ඔබට එසේ නොහැකි නම් ඔබත් ලෝකයේ ඉතා සුළු ප්‍රමණයක්  වන සාර්ථක පුද්ගලයින් ගොඩට එක් වීමට සුදුසුකම් සපුරා නැහැ. පරාජය වීම බොහෝ වේදනාකාරී අත්දැකීම් ලබා දෙන බව සත්‍යයි. එහෙත් පරාජයේ වේදනාව තුල ඔබේ ජයග්‍රහණය සැගවී යන්නට ඉඩ දීම කිසිසේත් සාධාරණ දෙයක් නොවේ.

සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කැපවීම් කලත්, අත්වූයේ පරාජය හෝ ප්‍රතික්ෂේප වීම් පමණක් නම්, කිසිවිටකත් ඔබේ උත්සාහය අත් හැරිමට සුදානම් නොවන්න. ඒ වෙනුවට මේ අසහාය ශ්‍රී ලංකිකයාගේ සාර්ථකත්වයේ කතාව සිහියට නගා ගන්න. ඔහුට හැකි නම් ඔබටත් හැකි බවට ඔබේ ආත්ම විශ්වාසය ඇතිකර ගන්න. යම් දිනක මව්බිමට කීර්තියක් අත් කරන නායකයෙක් වන්නට ඔබටත් හැකිවේවි.

Monday, October 17, 2016

විදුලි වේගයෙන් තට්ටු 127ක් ගමන් කරන ලෝකයේ වේගවත්ම විදුලි සෝපානය

චීනයේ ෂැංහයි ගොඩනැගිල්ල උසින් ලෝකයේ දෙවැනි තැනට පත්වුණාත්, ලෝකයේ වේගවත්ම විදුලි සෝපානය භාවිතා වන්නේ  ෂැංහයි ගොඩනැගිල්ල තුලයි.
ජපානයේ මිට්ෂුබිෂී සමාගම විසින් නිපදවූ මෙම ලෝකයේ වේගවත්ම විදුලි සෝපානය විනාඩියකට මීටර් 1230ක් නැතිනම් තත්පරයකට මීටර් 20.5ක වේගයෙන් ඉහළ පහළ ගමන් කරන බව නිෂ්පාදකයින් පවසනවා.
මීටර් 587 ක් උසින් පිහිටි ෂැංහයි ගොඩනැගිල්ලේ 127 වන ඉහළම මහලට පිවිසීමට මේ විදුලි සෝපානයට ගතවන්නනේ විනාඩියකටත් අඩු කාලයක්. නවීන තාක්ෂණික ක්‍රම යොදා ගැනීම නිසා මෙවැනි වාර්තාගත වේගයක් ලබා ගැනිමට හැකි වී ඇති අතර  මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකල බව මිට්ෂුබිෂී සමාගම පවසනවා.

ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන බර්ජ් කලීෆා හි භාවිතා වන විදුලි සෝපානයේ  වේගය තත්පරයට මීටර් 10 පමණ වන බව සඳහන්.



Thursday, October 13, 2016

අපේන් Oxford ශබ්දකෝෂයට ගිය ‘අයියෝ’

කනගාටුවක් , පශ්චාත්තාපයක්  වැනි දෙයකදී නිතරන්තරයෙන්ම අයියෝ කියන වචනය ඔබත් භාවිතා කරනවා වෙන්න පුළුවන්.  ලංකාවේ අපිට ඉතා හුරු පුරුදු මේ වචනය පසුගිය දා ලෝකයේ ප්‍රධාන පෙළේ ශබ්දකෝෂයක් වන Oxford හි නවතම සංස්කරණයට එක්කර තිබෙනවා.
Oxford ශබ්ද කෝෂයේ දී අයියෝ’ (Aiyo) යන වචනය අර්ථ දක්වා තිබෙන්නේ,
දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ කනගාටුව, පශ්චාත්තාපය, වැනි දේ ප්‍රකාශ කිරීමට යෙදා ගන්නා වචනයක් ලෙසයි.
In southern India and Sri Lanka, expressing distress, regret, or grief; ‘Oh no!’, ‘Oh dear!’.

මේ වන විට Oxford ශබ්ද කෝෂය භාවිතා කරන්නන් අතර ජනප්‍රියම වචනය  බවටද මෙය පත්වී තිබෙනවා.

Wednesday, October 12, 2016

Galaxy Note 7 දුරකථනය වහාම Off කරන්න. Samsung සමාගම දැනුම් දෙයි.

Samsung Galaxy Note 7  ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇති දෝෂයක් නිසා ඒවා පිපිරීමට ලක් වූ සිද්ධීන් කිහිපයක් පසුගිය කාලයේ ලෝකයේ විවිධ ස්ථාන වලින් අසන්නට ලැබුණා. මෙයට විසදුමක් ලෙස Samsung සමාගම Galaxy Note 7  දුරකථනය සඳහා නව බැටරියක් ඇතුළත් කර දෝෂය මගහරවා ගැනීමට කටයුතු කලත් ඇමරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමනකදී එයද පිපිරීමට ලක්වී තිබෙනවා.

මේ හේතුව නිසා සැම්සුන්ග් සමාගම විසින් Galaxy Note 7 ස්මාට් ජංගම දුරකථන හිමිකරුවන්ට ඒවා ක්‍රියා විරහිත කර තබන ලෙස නිවේදනය කර තිබෙනවා. Samsung සමාගම මේ වනවිටත් ගැලැක්සි නෝට් 07 වර්ගයේ ජංගම දුරකථන අලෙවිය අත්හිටුවා තිබෙන අතර ලොව පුරා අලෙවියට ඉදිරිපත් කර තිබූ දුරකථන මිලියන 2.5ක් පමණ ආපසු කැඳවීමටත් කටයුතු කළා.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන සමාගම පවසන්නේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසා සමාගම විසින් නිර්මාණය කළ ගැලැක්සි නොට් 07 දුරකථනය අලෙවි කිරීම ලොව පුරා අත්හිටවූ බවත් ගැටලුව පිළිබඳව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.


ලෝකයේ උසම ගොඩනැගිල්ලට හමි වාර්තාව අළුත් වෙයි

ලෝකයේම උසම ගොඩනැගිල්ල හිමි නගරය බවට පත් වීමට ලෝකයේ ධනවත් නගර දැඩි තරගයක පසුගිය කාලය පුරා නැයැලුණා. මේ වන විට ලොකයේ උසම ගොඩනැගිල්ලට හමි ගෞරවය සතු කරගෙන සිටින්නේ ඩුබායි නගරයයි. ඩුබායි නගරයට එම අභිමානය ගෙන එන්නේ මීටර් 828ක් උසැති බර්ජ් කලීෆා ගොඩනැගිල්ලයි.
නමුත් බර්ජ් කලීෆා ගොඩනැගිල්ලට හිමි වාර්තාව අභිබවා යන ලෝකයේ උසම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පසුගිය දා ආරම්භ වුණා. බර්ජ් කලීෆා ගොඩනැගිල්ට වාඩා මීටර් 100ක් පමණ උසින් යුතුවන මෙහි ඉදිකිරීම් 2020 වන විට අවසන් වීමට නියමිතව තිබෙනවා. 

මෙය ඉදිකිරිම ආරම්භ වීමත් සමග බර්ජ් කලීෆා ගොඩනැගිල්ලට ලෝකයේ දෙවන තැනට පත් වුවත් ඩුබායි නගරයට හිමිව තිබූ අභිමානයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.
එයට හේතු වන්නේ මෙම නව ගොඩනැගිල්ල ඩුබායි නගරයේම ඉදිවන නිසයි. මෙය ඩුබායි නගරයේ සුවිශේෂී පිහිටීමක් වන ඩුබායි ක්‍රීක් වරාය ආසන්න භූමියක ඉදිකිරීමට නියමිතයි. එම ස්ථානයට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට  විනාඩි 10ක් තුළ ළගාවිය හැකිය. ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ලෝක වෙළද මධ්‍යස්ථානය ,නිව්යෝක් නුවර ප්‍රධාන මධ්‍යම ගමනාගමන මධ්‍යස්ථානය ඇතුළු ස්වීඩනය ,කැනඩාව ,බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයකම විශිෂ්ඨ ගණයේ ගෘහනිර්මාණ ශිල්පයෙන් යුතු ගොඩනැගිලි වල නිර්මාණ ශිල්පියා වන සන්තියාගේ කාලාට්‍රාවා මෙහි නිර්මාණකරුයි.

ඇමෙරිකා ඩොලර් බිලියනයක් (රුපියල් කෝටි 14900 ක ) වියදමක් මෙම නිර්මාණය වෙනුවෙන් අස්තමේන්තුකර ඇති අතර මෙහි ඉදිකිරීම් සමාගම ලෙස ඩුබායි හි ලෝක ප්‍රසිද්ධ එමාර් ඉදිකිරීම් සමාගම කටයුතු කරනවා. සුඛෝපභෝගී හෝටල් ,එල්ලෙන උද්‍යාන ,ඩුබායි නගරයේ සුන්දරත්වය නැරඹිය හැකි නිරීක්ෂණ අට්ටාල ඇතුළු සංචාරක ආකර්ෂණයෙන් යුතු ස්ථාන රැසක් මෙහි ඉදි කිරීමට නියමිතයි.


වසර 2020දී ඩුබායි හි පැවැත්වෙන ලෝක අපනයන  ප්‍රදර්ශනයට පෙර මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට එමාර් සමාගම බලාපොරොත්තුවෙන් සිටිනවා.

Thursday, October 6, 2016

සුපිරි කැමරාවක් සමඟ එන අළුත්ම google ස්මාර්ට් ෆොන් යුගලය

ගූගල් සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථන දෙක වෙළඳපොලට නිකුත් කිරීමට සැරසෙනවා. Pixel සහ Pixel XL ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකථන බැලූ බැල්මට ඇපල් iPhone ජංගම දුරකථනයකට සමාන බවක් දක්වනවා.

ස්මාර්ට් ජංගම දුරකථනයක මෙතෙක් ලබා දී ඇති හොඳම තත්වයේ කැමරාව මේ සඳහා යොදා ඇති අතර මෙහි පසුපස කැමරාව megapixel 12.3 වන අතර ඉදිරිපස කැමරාව megapixel 8ක් වන බව සඳහන්.
මෙම දුරකථන සඳහා 4GB RAM මතකයක් හා 32GB -128GB  Internal මකතයක් ලබා දි තිබෙනවා. Android Nougat 7.1 මෙහෙයුම් පද්ධතියකින් මෙය ක්‍රියාත්මක වන අතර  මෙහි බැටරිය විනාඩි 15ක කාලයක් චාර්ජ් කිරීමෙන් පසුව පැය 07 ක කාලයක් භාවිතා කල හැකිවීම විශේෂත්වයක්.

Google Pixel සඳහා අඟල් 5  Google Pixel XL සඳහා අඟල් 5.5ක ද  Display එකක් ලබාදි තිබෙනවා. කළු සහ රීදී වර්ණයෙන් ද සීමිත ප්‍රමාණයක් නිල් වර්ණයෙන්ද නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර 2016 ඔක්තෝබර් 13 ඉන්දියාවේදී මෙය පළමු වරට වෙළඳපලට නිකුත් කරන බව ගූගල් සමාගම පවසනවා.