Monday, May 9, 2016

මානසික රෝග කියන්නේ යක්ෂයෙක් ආරූඩ වීමක්ද?

මිනිස් මනස හරිම අසිරිමත් දෙයක්. ප්‍රකෘති සිත ස්වභාවයෙන්ම සුපිරිසිදුයි. ඒ වාගේම නිශ්චලයි. ඒ නිසල මනස තුල පුදුම තරමේ ශක්තියක් තිබෙනවා. නිරතුරුවම සිත මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව වැනි ධනාත්මක හෙවත් හයපත් සිතුවිලිවලින් පෝෂණය කර වර්ධනය කරගතහොත් සිත බලසම්පන්න වෙනවා. හෙමෙත් මෙතරම් බලසම්පන්න සිත ඇතැම් අවස්ථාවලදී වෙනස්වීම් වලට භාජනය වෙනවා. එවැනි අවස්ථාවලදී අපේ චර්යාවන් බිඳ වැටෙනවා. එහිදී නිවැරදි තීරණ ගැනීමට, පෞරුෂ වර්ධනයට, ආකල්ප වර්ධනයට, දෛනික ජීවිතය සාර්ථක කර ගැනීමට ආදී කරුණුවලට බාධාවන් ඇතිවෙනවා.

ලොව පවතින ඉතා අසීරුම කාර්යය වන්නේ මානව චර්යාවන් හඳුනාගැනීමයි. විශේෂයෙන් මිනිසුන් සහේතුකව කටයුතු කරන බැවින් ඔවුන්ගේ චර්යා අර්ථකථනය කරගැනීම අසීරුය. නමුත් ඔවුන්ගේ යම් යම් කරුණු කාරණා මඟින් මානව චර්යාවන් හඳුනාගත හැකිය. මෙහදී සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය චර්යාවන්ද පවතී. අසාමාන්‍ය චර්යා මානසික රෝග වශයෙන් හඳුන්වා දිය හැකිය. එමෙන්ම මිනිසුන්ගේ සිතීම පිළිබඳ විකෘතීන් හා හැසිරීම් පිළිබඳ විකෘතීන්ද මෙයට අදාල වේ. ආදි කාලීන යුගයේ මානුෂික රෝග යනුවෙන් හඳුන්වා ඇත්තේ බලගතු යක්ෂෙයෙක් ශරීරගත වීමකි. නොඑසේනම් ආවේෂ වීමක් හෝ බාහිර බලවේගයක් මඟින් මිනිසා ගුප්ත ලෙස මෙහෙයවීමයි. එහෙත් සැබැවින්ම මානසික රෝග ඇති වීමට හේතුවන්නේ මොළයේ ඇතිවන රසායනික අසමතුලිතතාවයි. එවැනි රසායනික අසමතුලිතතා පදනම් කරගෙන සිතීමේ හා හැසිරීමේ අසමතුලිතතා ඇතිවේ. පුද්ගල හැසිරීමේ හා චර්යාවේ සැලකිය යුතු වෙනසක්  ඇතිවේ නම් හෝ යථාර්ථයට පටහැනිව ක්‍රියාකිරීම පිළිබඳව ව්‍යාබාධ හෙවත් පවත්නා තත්වයට සුදුසු ලෙස වෙනස්වීමට ඇති නොහැකියාවද මානසික රෝගයකි. 

මෙසේ මානසික රෝග ඇති වීමට බලපාන ලද හේතු රාශියක් වේ ඒ අතර
1.  ආරය හෙවත් ජානමය සාධක
2. ස්නායු ආබාධ
3. මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය
4. විවිධ මනෝ සමාජ ගැටලු
5. මොලයෙහි ඇතිවන රසායනික වෙනස්කම්
            ප්‍රධාන තැනක් ගනී. මානසික රෝග ඕනෑම පුද්ගලයෙකුට වැළඳීමේ සම්භාවිතාවක් ඇත. මානසික රෛා්ග අංශ කිහිපයක බෙදා දැක්විය හැකිය.
1.  සුළු මානසික රෝග
2. ප්‍රධාන මානසික රෝග
3. මනෝ දේහිත රෝග
4. ළමා මානසික රෝග
4. මනෝ ලිංගික රෝග
6. පෞරුෂ ආබාධ

ඉදිරි ලිපි වලදී  මිනිසුන්ට වැළඳෙන විවිධ මානසික ආබාධ ගැන දැනුවත් වෙමු.


සජීවනී රත්නායක

No comments:

Post a Comment