Thursday, May 5, 2016

ඔබ සැම හොදින් හදුනන චීනයේ අංක 1 ධනවතා

චීනයේ සුන්දර හංජෝ නගරයේ පිහිටි බටහිර විල දෙසට බයිසිකලයෙන් නිතර එන තරුණයෙකි මා යුන් (MA YUN) බටහිර විලේ සුන්දරත්වය නැරඹීමට විදේශිකයන් විශාල වශයෙන් පැමිණෙනවා. ඔවුන් හමු වී දන්නා ඉංග්‍රීසියෙන් කථා කරමින් මග පෙන්වන්නට මා යුන් පුරුදුවී සිටියා. ඒ නිසා ඔහුට ඉංග්‍රීසි නාමයකුත් තිබුණා. ඒ තමයි ජැක් මා (JACK MA). කොහොම නමුත් මුදලට වඩා ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමයි ඔහුගේ එකම අපේක්ෂාව වුණේ.

 පාසලේදී කිසිදු විශේෂ දක්ෂතාවයක් නොපෙන්වූ ජැක් මා ඉංග්‍රීසි විෂයට පමණක් තරමක් වැඩි ලකුණු ලබා ගත්තා අපමණ ඳගකාර හා හිතුවක්කාර වැඩ නිසාම ඔහුට වරින් වර පාසැල් තුනකට මාරු වන්නට ද සිදු වුණා. සාමාන්‍ය පවුලක උපන් ජැක් මා ගේ පියා ප්‍රදේශයේ නාට්‍ය ශාලාවක සේවය කළ කෙනෙක්. නමුත් පුතාට කිසිම කලා හැකියාවක් තිබුණේ නැහැ. ජැක් මාගේ අනාගතය ගැන මහා බියකින් පසු වූ මව දවසක් පියාගෙන් ඇහුවා ‘අපි මේ දරුවට මොකද කරන්නේ‘ කියලා. පියා අපූරු පළිතුරක් දුන්නා. ‘මම කවදා හරි එයා එයාගෙන් දක්ශතාවක් මතු වෙන කම් එයා වටේට සවලක් අරගෙන හාරනවා‘.
අඩුවක් නැති දඟවැඩ නිසා පියා ජැක් මා ට බැන වැදුණු බොහෝ අවස්ථාවල ඔහු ඊට උත්තර දුන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එක දවසක් පියා කිව්වා, ‘‘හරි මට ඉංග්‍රීසි නොතේරුණත් මම දන්නවා ඔයා මට බණිනවා කියලා කමක් නෑ. තව හොදට ඉංග්‍රීසි ඉගෙන ගන්නකෝ.“

ජැක් මා විශ්ව විද්‍යාල ප්‍රවේශය විභාගයට දෙවරක් පෙනී සිටියත් ඉන් අසමත් වීම කාටවත් පුදුමයක් වුණේ නැහැ. පියා කීවේ තුන්වැනි වරටත් විභාගේ කරන්න කියලා. පවුලේ සියලු දෙනාම ඊට විරුද්ධ වුණා. නමුත් පියා උපරිමයෙන් ඊට උදව් කලා. නමුත් එවරද ඔහු අසමත් වුණා. ඒ වසරේ හංජෝ ගුරු විශ්ව විද්‍යාලයට ප්‍රමාණවත් සිසුන් නොමැති වීම හේතුවෙන් අඩු ලකුණු තිබුණු සිසුන් කිහිප දෙනෙකුටම විශ්ව විද්‍යාල වරම් හිමි වුණා. ඒ අතරට පූරුවේ වාසනාවකට මෙන් ජැක් මාද ඇතුළත් වුණා.
පාසල් කාලයේ ඔහු තුල නොතිබුණු දැඩි උනන්දුවක් විශ්ව විද්‍යාලයේදී දක්නට ලැබුණා. ඉතා ක්‍රියාශීලී දක්ශ දීප්තිමත් ශිෂ්‍යෙයකු වූ ජැක් මා ට පසුකාලීනව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාපති ධූරයද හිමි වුණා.
හැම විටම අලුත් අදහස් වලට ඉඩ දුන් ජැක් මා හංජෝ නගරයේ ඉංග්‍රීසි උපකාරක පංතියක් පටන් ගත්තා ඔහු නගරයට ප්‍රථම English Corner නම් වූ ඉංග්‍රීසි භාෂා පුහුණු ආයතනයක් හඳුන්වා දුන්නා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු නඟරයේ හොඳම ගුරුවරන් 10 දෙනා අතරට තේරි පත්වී සම්මාන හිමි කරගැනීමට පවා ඔහු සමත් වුණා. ඒ අතර විශ්වවිද්‍යාලයේ ඇගේ පෙම්වතිය වූ චන්ග් ඉන් සමග විවාහ වුණා. මේ කාලයේ ඔහුට ඇමරිකාවේ සංචාරයකට අවස්ථාව ලැබුණා. එහිදී ඔහු හඳුනාගත් අරුම පුදුම දෙයක් වේ නම් ඒ අන්තර් ජාලයයි. යලි චීනයට පැමිණි පසු ඔහු චීනයේ සමාගමකට ඇමරිකානු මිතුරෙකුගේ මාර්ගයෙන් වෙබ් අඩවියක් නිර්මානය කර දුන්නේ දැඩි සතුටකින්.
දුර දක්නා ණුවනිකින් කටයුතු කිරීම ඔහු තුළ තිබූ විශේෂ ලක්ෂණයක්. ඔහු හිතුවා ගුරු වෘත්තියට සමු දී ඔහුගේම ව්‍යාපාරයක් පටන් ගන්න. සේවකයන් 11 දෙනෙකුගෙන් සමන්විත භාෂා පරිවර්තන සේවා ආයතනයක් ඇරඹුණේ ඒ විදියටයි. එහෙත් එය සිතූ තරම් ලෙහෙසි වැඩක් උනේ නැහැ. එම ව්‍යාපාරයෙන් මාසිකව ඔහුට ලැබුණු ලාභය යුවාන් 500ක්. ආදායමෙන් සේවා ස්ථානයේ යුවාන් 700 කුලිය ගෙවා ගැනීමටත් නොහැකි වූ නිසා ඉතිරි මුදල සොයා ගැනීමට ඔහුට චීනයේ දුර නගර වලට ගොස් බඩු වෙළදාම් කරන්නට සිදු වුණා. ඔහුගේ බිරිද පවසන ආකාරයට ඒ කාලය ඔවුන්ගේ ජීවිතයේ ඉතාමත් අසීරු සමයක් වුණා. ඒ වන විට ඔවුන්ගේ පවුලට තුන්වැන්නෙක්ද එක් වී සිටීම අසීරු බව තවත් වැඩි කලා. මේ අතර ඔහුගේ සිතට අළුත් සිතුවිල්ලක් පහළ වුණා. සිතූ සැනින් යමක් කිරීම ඔහුගේ උපන් ගතියක්. භාෂා පරිවර්ථන ව්‍යාපාරය යහළුවෙකුට පවරා ඔහු අලුත් ව්‍යාපාරයකට යොමු වුණා.
මුලින්ම මිතුරන් කිහිප දෙනෙකුගෙන් යුවාන් 50000ක් ණයට ගත්තා. ජැක් එම මිතුරනුත් හවුල් කරගෙන e-business හෙවත් අන්තර්ජාල වෙළඳ සමාගමක් ආරම්භ කළා. එහිදී ඔහු මිතුරන් ඉදිරියේ අවංකව කිව්වේ ‘‘අපේ සමාගම සාර්ථක උණොත් ලොකු ආදායමක් ලබා ගන්නා පුළුවන්. හැබැයි අසාර්ථක වුණොත් ඔයාල මට දුන්න යුවන් 50000වත් ආපහු දෙන්න මට බැරි වෙනවා‘‘ කියලා. මේ කතාවට බිය නොවූ මිතුරන් ජැක් සමඟ සමාගම පටන් ගත්තා.

ස්වාමියා හැම විටම ජීවිතයේ ගන්නා විවිධ තීරණ නිසා බිරිඳගේ හිතේ නම් නිතරම තිබුණේ අනාගතය ගැන බියක් සහ අවිනිශ්ච්ත බවක්. දිවා රෑ නැතිව ඔහු ව්‍යාපාරයට පණ දුන්නා. ඔහුට අලුත් අදහසක් හිතුනු සැනින් දුරකථනයෙන් මිතුරන් කැඳවා දීර්ඝව ඒ ගැන සාකච්ඡා කළා. නිවසට පැමිණෙන 10 ක් පමණ මිතුරන් වෙනුවෙන් කෑම බීම පිළියෙල කළේ බිරිඳ විසින්. දුම්වැටි මත්පැන් සමඟ සිදු කෙරෙන සාකච්ඡා සමහර විට මධ්‍යම රාත්‍රිය පහුවී අළුයම දක්වාම දීර්ඝ වුණා. ඒ අතර ක්‍රමයෙන් e-business ව්‍යාපාරය සාර්ථක වෙමින් තිබුණා. ජැක් මා බිරිදට කිව්වා දැන් ඔබ රැකියාවෙන් ඉවත් වෙලා අපේ සමාගමත් එක්ක එකතු වෙන්න කියලා. සුපුරුදු විදියට ඇය ඔහුගේ තීරණයට එකඟ වුණා. ඒ අනුව ඇයට සමාගමේ ඉහළ තනතුරක් ලැබුණා. සෑම සාර්ථක පිරිමියෙකු පසු පස කාන්තාවක් සිටී යන චීනයේ ඉතා ජනප්‍රිය කියමන සත්‍යක් කරමින් ජැක්ගේ බිරිද තම ස්වාමියා ගැන ඉතා ඉහලින් අගය කරනවා. මගේ ස්වාමියා කඩවසම් නොවුනත් අනෙක් පිරිමින්ට කළ නොහැකි බොහෝ දේ ඔහුට කළ හැකි යැයි ඈ පවසන්නේ නිහතමානි ආඩම්බරයකින්.

ජැක් මා හදුන්වාදුන් අන්තර්ජාල වෙළද සමාගම චීනය පුරා ඉතාමත් ජනප්‍රිය වෙමින් ඉහල ආදායම් වාර්තා තබන්නට සමත් වුණා. එම ව්‍යාපාරය ඔබ සැම හොදින් හඳුනන alibaba.com වෙබ් අඩවියයි. 

ජැක් මා අලුත් අලුත් සංකල්ප ඔස්සේ ව්‍යාපාරය පුළුල් කරමින් දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් අත්කරගත්තා. ලෝක ආර්ථික සමුළුව විසින් 2005 වසරේ තරුණ ගෝලීය නායකයා ලෙස ඔහුව නම් කළා. එම වසරේදීම ආසියාවේ බලගතුම ව්‍යාපරිකයන් 25 අතරටද ජැක් තේරී පත්වූණා. 2007 වසරේදී බිස්නස් සඟරාවේ වසරේ ව්‍යාපාරිකයා ලෙස තේරුණා. 2008 දී ලෝකයේ හොඳම ප්‍රධාන විධායක නිළධාරියා ලෙස මෙන්ම තවත් සම්මාන රැසක් දිනාගැනීමට ජැක් සමත් වුණා. මේ වන විට ඔහුගේ අලිබබා සමාගම ඇමරිකානු කොටස් වෙළඳපලටද ඇතුල්ත් වී හමාරයි. 2013 වර්ෂයේ හොංකොං හි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් හිමි වුණේ ඔහුගේ මෙම අප්‍රතිහත ධෛර්‍යට උපහාරයක් වශයෙනි. 

මේ වන විට 50 වන වියේ පසු වන ඔහු ලොව පුරා විවිධ විශ්වවිද්‍යාල වල දේශන පැවැත්වීමත් සිදුකරනවා. චීනයේ අංක එකේ ධනවතා බවට පත් වුණේ එක රැයකින් නොව නොව අසීරුතා රැසක් පසුකරමින් ආ ගමන් මඟක් ඔස්සේ බව ජැක් මා සිපත් කරන්නේ ඉතා සතුටින්.

අනෝජා දිසානායකගේ ලිපියක් ඇසුරිනි.

No comments:

Post a Comment