Wednesday, May 11, 2016

මිනිස් ඉතිහාසයේ හමු වූ විනාශකාරීම හා භයානකම සත්වයා

දක්ෂයකි, විනාශකාරයකි, රෝග වාහකයෙකි. ලොව අහාර වර්ග රාශියක් කා දමන හෝ නරක් කර දමන නාස්තිකාරයකි. ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙන සේ වෙනස් වීමට සමතෙකි. හිම මිදෙන ධ්‍රැව ආශ්‍රිත ප්‍රදේශවල සිට ගිනි ගහන කන්තාර දක්වා ලොව සෑම පෙදෙසකම ජීවත්වන මීයා සමහර විට මිනිසාට තර්ජනයකි. මීයන්ගෙන් පැතිරෙන රෝගවලින් මිය ගොස් ඇති මිනිස් සංඛ්‍යාව ලෝකයේ මෙතෙක් පැවති සියළුම යුද්ධවලින් මිය ගිය සංඛ්‍යාවට වැඩිය.


මීයන් වර්ග 550කට වඩා ඇත.මින් බොහොමයක් වනාන්තරව කුඹුරුවල හා කැළෑවල ජීවත් වෙති. එහෙත් සමහර වර්ගවල මීයෝ මිනිසුන් සමඟ ජීවත් වෙතිහරකුන් අශ්වයින් බැටළු ආදීන් මෙන් ඔවුහු මිනිසුන් හා එක්ව සිටිති.
මධ්‍යතන යුගයේදී මී උවදුර යුරෝපය පුරා පැතිරුණි. ඔවුන් කළු මීයන් නැතහොත් වහලවල ජීවත්වන මීයන් සේ හැඳින්වුණි. දුඹුරු මීයන් දක්නට ලැබුණේ වර්ෂ 1727 දී පමණ නැගෙනහිර රටවලිනි.වෙල්ගා නදිය තරණය කර ඔවුන් යුරෝපයට ගමන් කළ බව කියැවේ. පසුව එංගලන්තයට පැමිණි මේ මීයන් ‘‘ නෝර්වේ මීයන්වශයෙන් හැඳින්විය. 1175 දී පමණ මේ මීයන් නැව්වලින් ඇමරිකාවට ගිය බව කියයි. නොර්වේ මීයකු සමාන්‍යයෙන් රාත්තලක් පමණ බරය. වලිගය හැර අඟල් නවයක් පමණ දිගැති සාමාන්‍ය මීයන් මෙතරම් විශාල නැත.

නොර්වේ මීයන්ගේ හිරිහැර නිසා කුඩා වර්ගයේ මීයෝ වැඩි වශයෙන් වරාය ආසන්න නගරවල හා දකුණු කලාපයට සීමා වී ඇත. සාමාන්‍ය මීයන්ට වයරයක් දිගේ තට්ටු ගොඩනැගිල්ලකට ගමන් කළ හැක. නොර්වේ මීයෙකුට අඟල් 1 ½ ක් ඝණකම් ලීයක් වුවද සිදුරු කළ හැකිය. සැතපුම් 1 ½ ක් කිසිම අපහසුවකින් තොරව පීනා යාමට පුළුවනි.
මීයන් ජීවත් වන්නේ ජනපද වශයෙනි. තනිව විසීමට ඔවුන් කැමති නැත. රසායනාගාර පරීක්ෂණයකට යොදා ගත් මීයකු මුදා හැරියහොත් ඌ ආපසු මී ජනපදයට භාර නොගනී. අනික් මීයෝ ඌට පහර දී මරා දමති.
කූඩු කළ මීයෙකු අවුරුදු තුනක් පමණ ජීවත් වුවද කැළෑ මීයන් සාමාන්‍යයෙන් මාස නවයකට වඩා ජීවත් නොවන අතර ඔවුන්ගේ වැඩිම ආයු කාලය අවුරුදු දෙකක් පමණ වේ. මී මවක් වරකට පැටවුන් 5ක් 10ක් පමණ බිහි  කරයි. වැඩිම පැටවුන් සංඛ්‍යාව 17 ක් වශයෙන් වාර්තා වී ඇත. මී ජෝඩුවකට වර්ෂ තුනක් තුළදී දශ ලක්ෂ 350ක පරපුරක් බිහි කළ හැකි බව වාර්තා වී තිබේ. යම් ප්‍රදේශයක මෙසේ බිහිවන මී පරපුරෙන් 95%ක් විනාශ කළ ද වර්ෂයක් තුළදී එය පළමු තත්වයට වර්ධනය වේ.

මීයා දත්වල සවියෙන් ජීවත් වන සතෙකි. ඉපදී දින 8කින් හෝ දහයකින් එන දත් වර්ෂයක දී අඟල් 5ක් පමණ දික්වේ. මේ නිසා නිතර සැපීමෙන් දත් ගෙවී යාමට සැලැස්විය යුතුය. යම් හෙයකින් උඩු ඇන්දේ ඉදිරිපස දතක් වර්ධනය වුවහොත්, යටි ඇන්දේ දත උල්වී මෙලෙස පසාරු කරගෙන යයි. මීයන් නිතර යමක් සපන්නේ දත්වල අසිමිත වැඩීම පාලනය කිරීමටය, වරක් නිව්යොර්ක් නගරය අඳුරු කිරීමට මීයෝ සමත් වූහ. ඔවුන් විදුලිය සපයන කම්බි සපා පලුදු කර තිබුණි. තවත් විටෙක ගබඩා කර තිබුණු පිටි, ධාන්‍ය, කෝපි, ගෝනි රාශයක් විනාශ කළහ.

මීයා කොහේ සිටියත් ඌ විෂබීජ වපුරයි. න්‍යෂ්ටික බෝම්බයටකත් වඩා භායානකය. මීයා රෝග 35ක් බෝ කරයි. මහාමාරිය වසංගතය පතුරන්නේ මීයාය. එය 14 වැනි සියවසේ යුරෝපයේ ව්‍යාප්ත විය. රෝගය වැළදුනු අයගෙන් තුනෙන් එකක් පමණ මිය ගියේය. ඈත පෙරදිග හා අප්‍රිකාවේ මේ රෝගය තවමත් පවතී. පසුගිය ශත වර්ෂ හතර පහ තුළ මෙම රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ගියේය.

ගැවසෙන සෑම තැනම මූත්‍රා හා මලපහ කිරීම නිසා විෂබීජ ව්‍යාප්තිය පුළුල්ව සිදුවේ. ඒ මල මූත්‍ර මිශ්‍ර වීමෙන් ඇමීබා, පාචනය, සෙංගමාලය, සැල්මනෙල්ලා, පිස්සු බලු රෝගය වැනි භයානක රෝග වැළදේ. ආහාර වර්ගවලට මෙම විෂබීජ මිශ්‍රවීම නිසා වසරකට ආහාර ටොන් 4170ක් පමණ විනාශ කර දැමීම සිදුවේ.
ආහාර තොග විනාශ කිරීමට සිදුවීමෙන් නොදියුණු රටවල් බලවත් ප්‍රශ්නවලට මුහුණ දෙයි. ඉන්දියාවේ අහාර පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වරක් සඳහන් කර තිබුණේ නිපදවන ආහාර ප්‍රමාණයෙන් 25%ක් පමණ කුඹුරුවලදීම මීයන් විසින් විනාශකර දමන බවය. තවත් 25%කට වැඩි ප්‍රමාණයක් ගබඩාවලදී ද විනාශකර දැමීමට මීයන් සමත් වන බවය.

මීයන් විවිධ දේ ආහාරයට ගත්තද උන් විසින් නාස්ති කර දමන ආහාර ප්‍රමාණය ඉතා විශාලය. මී උවදුර අඩු කර ගැනීමට බාධාවක්ව ඇත්තේ මීයන්ට ස්වභාවයෙන්ම උරුමව ඇති ගති ලක්ෂණය. අමුතු ආහාර පාන වර්ජනය කිරීමත් ගන්නා ආහාර සුපරික්ෂාකාරීව සොයා බලා ගැනීමත් මීයන්ගේ ලක්ෂණයකි. ආහාරය අහිතකර හෝ විෂ සහිත නම් පළමුව එය කා දැමූ හෝ පරීක්ෂා කළ මීයා එයට මුත්‍රා දමා අනිත් උන්ට අනතුරු හැඟවීමක් කරයි. ඉන්පසු කිසිම මීයකු ඒවා ආහාරයට නොගනී.
මීයන්ට ඇත්තේ තීක්ෂණ ඥානයකි. නිව්ගිනියාවේ විනිශ්චයකාරයකු වන සී. . ඩබ්. මොනික්ටන් ඒ පිළිබඳ අපූරු කථාවක් කියයි. වරක් ඔහු ට්‍රෝබ්‍රිරියන්ඩ් දූපත්වල රාත්‍රියක් ගත කළේය. එහි ගස් කොළ නොවීය. එම ප්‍රදේශයේ කොරල් පර බහුලව ගැවසී නොතිබුණි. මීයන් ඔහුගේ කූඩාරම පුරා දිවීම නිසා හරිහැටි නින්දක් නොලැබුණි. උදෑසන අවට පරීක්ෂා කරද්දී ඔහු අපූරු දසුනක් දුටුවේය. එක් මීයෙකු කොරල් පර අතරට වී වල්ගය දියට නමා ගෙන සිටිනු දුටුවේය. ටික වෙලාවකින් ඌ එක්වරම යාරයක් පමණ ඈතට පැන්නේය. ඌගේ වලිගයේ කකුළුවෙක් ඉල්ලී සිටියේය. වහා ආපසු හැරුණු මීයා කකුළුවා කා දමා ගුලකට රිංගා ගත්තේය. මේ මාළු බෑමේ ක්‍රමය විනිෂ්චයකාරවරයා පුදුමයට පත් කිරීමට හේතුවිය.

මීයා තරම් භයානක හා විනාශකාරී වෙනත් සතෙකු නොමැති තරම්ය. එහෙත් අනෙක් අතින් බලන විට රසායනාගාරවල බොහෝ පර්යේෂණ වලට යොදා ගන්නේ මීයන්ය. උන් යොදා කළ පර්යේෂණවලින් නිපදවූ බෙහෙත් වර්ගවලින් මිනිස් ජීවිත රැසක් රැකී ඇත. විවිධ රෝගවලට බෙහෙත් නිපදවා ගෙන ඇත. ඒ අතින් මීයන්ගෙන් සිදුවී ඇති සේවය අගනේය. තමන් කරන විනාශයට වන්දි වශයෙන් මිනිස් ජීවිත රැකදීමට අවශ්‍ය ඔසු නිපදවීමට ජීවිත පරිත්‍යාග කර ඇත. එනිසා මීයන්ට වෛර කිරීමද නුසුදුසු යැයි සිතේ.

No comments:

Post a Comment