Monday, May 2, 2016

පෘතුවියේ උණුසුම වැඩි වීම නොසිතූ වාසි රැසක් හිමි කර දෙන බව සොයාගනී

පෘතුවිය උණුසුම් වෙමින් ඇති බවත්, දේශගුණය සීග්‍රයෙන් වෙනස් වෙමින් ඇති බවත්, ඒ නිසා මිනිසාට හා මුළුමහත් ජෛව ලෝකයටම අසුබ අනාගතයක් උදාවෙමින් පවතින බවත් පවසමින් පරිසර විද්‍යාඥයින්, පරිසර හිතකාමීන් කරන අනතුරු ඇගවීම් පිළිබදව මේ වන විටත් ඔබ දැනුවත් ව තිබෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ලෝක කාර්මික බලවතුන්ගේ ඇස් පාදා නූතන තාක්ෂණය හැකිතාක් පරිසර හිතකාමී තාක්ෂණයක් බවට පත් කිරීමටයි. එනම් කාබන් ඩයෝක්සයිඩ් හා තවත් විෂ වායූන් පිට නොකරන ලෝකය උණුසුම් වීමට හේතු නොවන තාක්ෂණයක් බවට පත් කරගැනීමටයි.
එහෙත් තවත් විද්‍යාඥයින් පිරිසක් දැන් ඊට හාත්පසින්ම විරුද්ධ අමුතුම මතයක් ලෝකයට ඉදිරිපත් කරනවා. මෙතෙක් නොවූ විරූ පරිසර විපර්යාසයක් ලොව තුල දැන් සිදුවෙමින් පවතින බව ඔවුන්ද පිළි ගන්නා කරුණක්. එහෙත් කෘෂි අස්වැන්නේ සිට මිනිස් සෞඛ්‍ය දක්වා විවිධ ක්ෂේත්‍රයන් හි විවිධ පර්යේෂණ සිදු කොට ඔවුන් පවසන්නේ පෘතුවිය උණුසම් වීම ඉතාමත් වාසි සහගත බවත් අපට ඊට හැඩ ගැසීමට හැකි බවත්ය.

ලන්ඩන් සරසවියේ ජීව භූගෝල විද්‍යාඥ පිලිප් ස්ටෝට් පවසන්නේ යම් අයෙකුට සීතල හා උණුසුම යන දෙකෙන් එකක් තෝරාගැනීමට ඉඩ දුන්නොත් උණුසුම තෝරා ගැනීම නිසැක බවයි. ශීතල ආර්ථිකයට, කෘෂි කර්මයට, සෞඛ්‍ය, ජෛව විවිධත්වයට විතරක් නොවෙයි හැම දේකටම අහිතකර බවයි ඔහු පවසන්නේ. ඔහු පවසන අන්දමට යුරෝපා ඉතිහාසයේ සමෘද්ධිමත් අවධීන් සෑම එකක්ම පාහේ පැන නැගී ඇත්තේ අසාමාන්‍ය ලෙස උණුසුම තිබුණු කාල වලදීයි. 1100 සිට 1300 කාලය මෙවන් සමෘද්ධිමත් උණුසුම් කාලයක් වන අතර 1450 හා 1870 අතර පැවති කුඩා අයිස් යුගයේ දුර්භික්ෂවසන්ගත හා කෝලාහල ගොඩක් වැඩි වෙලා තියෙනවා.

2003 වසරේ යුරෝපයේ පැවති උෂ්ණාධික දින කිහිපයක් නිසා මිනිසුන් 14000ක් පමණ මිය යෑම පෘතුවිය උණුසුම් වීමේ අනිටු ප්‍රථිපලයක් ලෙස පරිසර හිතකාමීන් දක්වන විට ඊට විරුද්ධව කරුණු දක්වන ඔවුන් පවසන්නේ ඊට වඩා වැඩි පරිසක් අධික ශීතල නිසා මිය යන බවයි. දැනට පළවී ඇති ගණනය කිරීම් අනුව ඉදිරි වසර 45 තුල උණුසුම වැඩි වීම නිසා වසරකට මිනිසුන් 2000ක් පමණ මිය යන බව කියා තිබුණත්, ඔවුන් පවසන්නේ ශීතල නිසා වසරටකට මිය යන  20000ක මරණ සමග සැසදීමේදී එය ඉතා කුඩා අගයක් බවයි.
පෘතුවිය උණුසුම් වීමේ භයානකම ප්‍රථිඵලය ලෙස සලකන්නේ මුහුදු මට්ටම ඉහළ යාමයි. මේ නිසා ලෝකයේ වෙරළ බඩ බිම් විශාල ප්‍රමාණයක්ද, දූපත් විශාල ප්‍රමාණයක්ද මිනිසුන්ට අහිමි වන බව කියවුනි. පළමුව සාගර මට්ටම මීටර් 1.5ක් කින් ඉහළ යන බවට අනාවැකි පළ කළද පසුව මුහුදු මට්ටම වෙනස්වීම පිළිබද ජාත්‍යන්තර අධිකාරිය එය සෙන්ටිමීටර් 20ක් දක්වා පහත හෙලනු ලැබීය. මුහුදට යට වෙනු ඇතැයි අනාවැකි පල කල මාලදිවයිනට මේ නිසා කිසිදු තර්ජනයක් නොමැති බව දැන් පවතින මතයයි.


කෘෂිකර්මාන්තය පිළිබදව 1990 දශකයේ සිදුකල පර්යේෂණ වලින් පැවසූයේ පෘතුවිය උණුසුම් වීම නිසා ලොව ප්‍රධාන වගාවන් වන ධාන්‍ය වගාවට මරු පහරක් වදින බවයි. එහෙත් නව පර්යේෂකයින් මෙයට විරුද්ධ අදහසක් දක්වයි. එම පර්යේෂණ වලදී මිනිසාගේ තැනට සුදුසු ලෙස ක්‍රියාකිරීමේ හැකියාවයන සාධකය එම පර්යේෂකයින් අමතක කර ඇති බව ඔවුන් පවසනවා. පෘතුවිය උණුසුම් වීම නිසා ධාන්‍ය අස්වනු 20%කින් පහල වැටෙනු ඇතැයි කලින් ප්‍රකාශ වී තිබුණත් මහාචාර්ය රොබට් මෙන්ඩෙල් පවසනුයේ එනිසු සමස්ථ අසුවනු ප්‍රමාණය 13%කින් ඉහළ යනු ඇති බවයි. මෙසේ අස්වැන්න වැඩි වීමට හේතුව වන්නේ විද්වතුන් ඉතාමත් බිය පල කරන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා වීමත් විශේෂත්වයක්. මෙම වායුව වැඩි වීම නිසා තිරිගු අස්වැන්න 18% කින්ද, ගවයින්ට කෑමට සුදුසු තණකොළ වර්ග වල වර්ධනය 36% කින්ද වර්ධනය වන බවයි පැවසෙන්නේ.  මීට අමතරව වනාන්තර වලටද මෙම තත්වය වඩාත් හිතරක වනු ඇත. ඇමසන් ආදී වැසි වනාන්තර තව තවත් ඝනව වැඩීමට පෘතුවි උණුසුම හේතුවක් වේවි.


ආර්ථික පර්යේෂණ මගින්ද පැහැදිලිව පෙන්නුම් කරන්නේ උණුසුම් පෘතුවියට හැඩගැසීමට යන වියදමට වඩා වැඩි වියදමක් හරිතාගාර වායූන් ඉවත් කිරීම සදහා වියදම් වන බවයි. ‘අපි සියලුම පොසිල ඉන්ධන බලාගාර වසා දමලා, වාහන ක්‍රියා විරහිත කරලා දැම්මත් පෘතුවි දේශගුණය වෙනස් වන එක නවතින්නේ නැහැ. මෙතැන තිබෙන ගැටලුව අපට මේ තත්වය හා ගැටෙන්නට ශක්තිය නැති කමයි මහාචාර්ය ස්කොට් පවසනවා.

No comments:

Post a Comment