Thursday, June 2, 2016

ඉන්ටර්නෙට් නැතිවත් හරි මාර්ගය සොයා දෙන MAPS ME app එක

Google map ක්‍රියා කරවීමට නම් අන්තර්ජාල සම්බන්ධතාවක් අනිවාර්යෙන් තිබිය යුතුය. තුන් වන ලොකේ රටවල් වල සංචාරය කරන විදේශිකයන්ට මෙය මහත් ගැටලූවක් වූයේ බොහෝ දියණු වෙමින් පවතින රටවල් වල තවමත් හරි හැටි අන්තර්ජාල පහසුකම් නොමැති නිසයි. Google map සගයා විශ්වාස කරමින් පාර සොයා ගත් බොහෝ විදේශිකයන් අතර මඟ අතරමං වූයේ අන්තර්ජාලය නම් ඉන්ධන නොලද වාහනයක් මෙන් Google map ක්‍රියා විරහිත වන නිසායි.
            මේ නිසාම ඔවුන් අන්තර්ජාලය භාවිතා නොකර මිනිසාට සාර්ථකව මග කියා දෙන map වැඩසටහනක් නිර්මාණය කිරීමට උත්සහ කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලයේ පිහිටක් නොමැතිව GPS තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන Offline map සේවාවක් බිහි විය. Google map වලට සමානව ක්‍රියා කරන නිසා මෙම වැඩ සටහන් සීග්‍රයෙන් ජනප්‍රිය වන්නට විය. MAPS ME යනු එවැනි Offline map සේවාවකි‍. මෙය දැනට ලොව ජනප්‍රියම Offline map සේවාවන් අතර ප්‍රමුඛස්ථානයේ සිටියි.

            අන්තර්ජාලයේ සහයක් නොමැතිව GPS තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන මෙම සිතියම ජනප්‍රිය වන්නට ප්‍රධාන හේතුවක් වූයේ එය OpenStreetMap (OSM) නම් නිදහස්ව සංස්කරණය කල හැකි සිතියම් ජාලය මත පදනම් වූ නිසායි. 2004 වර්ෂයේ ස්ටීව් කෝස්ට් විසින් හදුන්වා දුන් මෙම ඕනෑම අයෙකුට සංස්කරණය කල හැකි සහ හුවමාරුකල හැකි සිතියම කෙතරම් සාර්ථක වුයේද යත් 2007 දෙසැම්බර් මස ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය තම වෙබ් අඩවිය සඳහාද මෙය භාවිතා කිරීම ඇරඹු‍වේය. මෙම සුවිශේෂි වැඩසටහන පදනම් කර ගෙන ක්‍රියාත්මක වෙන MAPS ME ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයටද දැන් ඉතා පහසුවෙන් භාගත කල හැක.

Google Ply store වෙත ජංගම දුරකථනයේන් පිවිස MAPS ME ලෙස ගවේෂණය කල විට මෙම  සේවාව පෙන්නුම් කරයි.
ක්ෂණික පියවර කීපයකින් භාගත කරගත හැකි මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නකි. මෙහි ඇති තවත් සුවිශේෂි කරුණක් වන්නේ අපට අවශ්‍ය  ප්‍රදේශයේ සිතියම පමණක් මෙහිදී භාගත කර ගැනීමට ඉඩලබා දීමයි. එනම් අපට අවශ්‍ය මුලූ ආසියාවෙන්ම ශ්‍රී ලංකාවේ සිතියම පමණක් ලබා ගැනීමට නම් ඒ සඳහා එහි පහසුකම් ඇත. එමගින් විශාල අන්තර්ජාල දත්ත ප්‍රමාණයක් සහ කාලයද මෙම සේවාව මගින් ඉතිරි කර දෙයි.


දැනටමත් මිලියන 30ට අධික ප්‍රමාණයක් භාවිතා කරන මෙම සේවාව රටවල් 100ක පමණ භාවිතා කරන ප්‍රධානම මාර්ග සෙවීෙමි වැඩසටහන බවට පත්ව ඇත. එමගින් දැන් ඔබ සිටිනා තැනට නුදුරින් ඇති ඉන්ධන පිරවුම්හල් රෝහල් විහාරස්ථාන හෝටල් ආදි සියල්ල ක්ෂනයකින් පෙන්වයි. මෙහි ඇති වඩා ආකර්ශණීය සේවාව නම් තවමත් මෙම සිතියම් වලට ඇතුලත් වී නොමැති ප්‍රධාන මාර්ග නොවන අතුරු පාරවල් සහ ස්ථාන ඇතුලත් කිරීමේ හැකියාවයි. ඒ සඳහා OpenStreetMap (OSM) හි  නිල වෙබ් අඩවිය වන openstreetmap.org වෙත ගොස් ලියාපදිංචි වීමෙන් පසුව ඔබේ ගමේ නගරයේ දැනටමත් කිසිදු සිතියමක නොපෙන්වන මාර්ග සහ ස්ථාන ඇතුලත් කිරීමේ හැකියාව පවතී. එසේ ඔබ විසින් අඳින ලද හෝ ඇතුලත් කරන නව මාර්ග සති කීපයකින් පසු යාවත්කාලීන වන අතර මෙතෙක් කිසිදු සිතියමකින් නොපෙන් වූ මාර්ග ඔබේ ජංගම දුරකතනයේ MAPS ME ඔස්සේ දැක ගත හැකි වනු ඇත.



            මෙම Offline map සේවාව ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය වීම නිසා දැන් Google map මගින් ද මෙම අන්තර්ජාලය නොමැතිව GPS මගින් සිතියම් දැක ගැනීමේ පහසුකම් සලසා දෙමින් පවතී. එසේ නම් දැන් ඔබට MAPS ME අධාරයෙන් බිය සැක නොමැතිව ඉන්ටර්නෙට් නොමැතිව ඔබ සිටිනා ඉසව්ව සොයා ගත හැකි වනු ඇත.

No comments:

Post a Comment