Friday, November 6, 2015

මල්ලිලා කරදරේ වැටුණම උදව්වට එන ‘‘සේරා‘‘ අයියා ගැන අහල තියනවද?

ඉස්කෝලෙ යන කාලෙ අපිට කවුරුහරි පාර්ට් එකක් දැම්මාම අදුරන කවුරුහරි චන්ඩියෙක්ගෙ පිහිට පතන්න අපි පුරුදුවෙලා හිටිය.ඉතින් චන්ඩියව වැඩේට කැමතිකරගන්න පොරට හොද බටර් ටිකක් ගාල , මුරුන්ග අත්තෙ තියල එහෙම තමයි වැඩේට එක්කරගෙන යන්නෙ.මෑන්ස්සුත් ඉතින් පොර වගේ තමයි ගේමට බහින්නෙ.
පාසැල් ජීවිතේදි විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්තාවල අපිට කරගන්න අමාරු සමහර දේවල් කරගන්න වෙන කෙනෙකුගෙ පිහිට පතනව.
මේක සාමාන්‍ය මිනිස් ක්‍රියාවක් උනාට මෙහෙම දේවල් කුරුළු ලෝකයෙත් සිද්දවෙනව කිව්වොත් ඔයගොල්ලො විශ්වාස කරනවද? මේ දවස්වල TV එකේ යන ඇඩ් එකක් දැක්කාම මට මේ කතාව මතක්උනේ.සමහරවිට ඔයාලත් දන්නව ඇති මේ සිදුවීම. මේක  බහුලව සිද්දවෙන්නෙ වියලි කලාපයේ වැව් දියකඩිති ආශ්‍රිතව තමයි.බොහෝ ජලජ පක්ෂින් තම ආහාර අවශ්‍යතාවය සපුරගන්නෙ මේ ජලාශවල ඉන්න මාළුවො ආහාරයට අරගෙන.එහෙම කුරුල්ලෙක් තමයි දියකාවා කියන්නෙ. ප්‍රමාණයෙන් කුඩා දිගු බෙල්ලක් සහිත කළුපාට කුරුල්ලෙක් තමයි දියකාව කියන්නෙ.දිය මත පිහිනමින් ඉන්නගමන් මාළුවෙක් දැක්කගමන් දිය යටට කිමිදිල අල්ලගන්න දියකාවට පුළුවන්.හැබැයි මූට ගොඩවෙලාවක් දිය යට ඉන්න බෑ.සුළු මොහොතකින් උඩට එනව.

කොහොම කොහොම උනත් දියකාවො රන්චු පිටින් ඇවිත් දියමත පිහිනමින් දඩයම පටන්ගත්තාම මාළුවොත් බයවෙන්නගන්නව.ඉතින් උන් කලබලවෙලා පුලු පුලුවන් තැන්වල හැන්ගෙනව.වැඩිවශයෙන් මාළුවො මඩ අස්සෙ තමයි හැන්ගෙන්නෙ.ඉතින් එහෙම උනාම දියකාව අමාරුවෙ වැටෙනව.මොකද උට එච්චර දිය යටට යන්න බෑ.
සාමාන්‍යයෙන් ආහාර බහුල කාලෙට උන් වෙන විකල්පයක් හොයාගන්නව. නමුත් ආහාර අඩු ඉඩෝරකාලෙට එහෙම තමයි දියකාවා අමාරුවෙ වැටෙන්නෙ.මේ වෙලාවට තමයි දියකාවට උගෙ අයියව මතක්වෙන්නෙ. ඒ තමයි 'සේරා'. මහ දියකාව කියලත් මෙයාට කියනවා. සේරා කියන්නෙ බහුලව වියලි කලාපයෙ ජීවත්වෙන බොහෝවිට හුදෙකලාව තමන්ගෙ පාඩුවෙ ඉන්න කුරුල්ලෙක්.ඌ පෙනුමෙන් බොහෝදුරට දියකාව වගේමයි.ඒ උනාට දියකාවට සාපේක්ශව ප්‍රමානයෙන් කැපිලපෙනෙන විදියට ලොකුයි.ඒවගේම දිය ගැඹුරට කිමිදෙන්නත් වැඩි වෙලාවක් දිය යට ඉන්නත් සේරට පුළුවන්.

ඉතින් දියකාව කරදරේ වැටුනාම උන් රන්චුවක් විදියට එකතුවෙලා සේරව හොයාගෙන යනව.එහෙම ගිහින් සේර අතින් තමන්ගෙ දුක්ගැනවිල්ල කියනව (උන්ගෙ භාෂාවෙන්)කියල බැගෑපත් උනාම සේරගෙ හිතත් උනුවෙනව. ඉතින් දියකාවුන්ගෙ ඉල්ලීම භාරගන්න සේරා දියකාවොටික පිරිවරාගෙන අදාල ජලාසෙට පියාඹනව.

ඇත්තටම ඒක බලන්න වටින දර්ශනයක්.දියකාවොටික සේරාව මැදිකරගෙන තමයි එන්නෙ.ඒ ඇවිල්ල කට්ටියම වතුරට බහිනව.ඒ බැහැපු වෙලාවෙ ඉදන් සේර කරන්නෙ වතුර ඇතුලට කිමිදිල පතුලෙ තියන මඩ අවුස්සල කලතන එක.වතුර බොරවෙලා මඩ කැලතුනාම මාළුවොන්ට තවත් හැන්ගිල ඉන්න බැහැ , උන් උඩට එනව.ඔන්න ඔය වෙලාවට දියකාවො ටිකට රජ කෑම.උන්ටික හොදට බඩ කට පුරවගන්නව. තමන්ගෙ මල්ලිල ටිකට කෑම හොයලදුන්න සේරා ඉන් පස්සෙ පාඩුවෙ ඉගිලිල යනව.වැදගත්මදේ තමයි ඌ ප්‍රතිඋපකාර මොකුත් බලාපොරොත්තු නොවෙන එක.
අපි නොහිතන බොහොමයක් මිනිස් හැසිරීම් සත්වලෝකෙත් තියනව.මේවගේ තව සිද්දියක් තමයි "ඌරො කැකුණ තලනකොට වලිකුකුළන්ට මගුල්" කියන කතාව. හැබැයි ඌරට වලිකුකුළො ආරාධනා කරන්නෙ නෑ.

No comments:

Post a Comment