Friday, January 29, 2016

වෛද්‍ය විද්‍යාව උඩුයටිකුරු කරන මිනිස් හිසක් වෙනත් සිරුරකට බද්ධ කිරීමේ විශ්මිත සැත්කම

මිනිස් ශරීරයේ විවිධ අවයව බද්ධ කරමින් සිදු කල වෛද්‍ය විද්‍යාවේ අශ්චර්යයන් ගැන පසුගිය කාලය පුරා අසන්න දකින්න ලැබුණා. ඒහෙත් මිනිස් හිසක් වෙනත් මිනිස් ඇගකට බද්ධ කිරීමක් ගැන අසන්න ලැබුණොත් ඔබට එය විශ්වාස කරන්න පුළුවන්ද? 
විශ්වාස කරන්න තරමක් අපහසු වුනත්, ලෝකයේ ප්‍රථම මිනිස් හිස බද්ධ කිරීමේ සැත්කම 2017 දෙසැම්බර් මාසයේ දී සිදු කරන්න වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සැලසුම් කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.
HEAVEN-GEMINI  ලෙස නම් කර ඇති මෙම වෛද්‍ය ඉතිහාසය උඩු යටිකුරු කරන විශ්මිත සැත්කම සිදුකිරීමේ ප්‍රමුඛයන් වන්නේ  ඉතාලියේ ස්නායු පිළිබඳ විද්‍යාඥයෙක් වන Canavero Sergio සහ චීන ජාතික ශෛල්‍ය වෛද්‍යවරයෙක් වන Xiao-Ping Ren යන දෙදෙනායි. චීන ජාතික Xiao-Ping Ren 2013 වසරේ දී මුල්වරට සාර්ථකව මීයෙකුගේ හිස බද්ධ කිරීමේ සැත්කමක් සිදුකල අතර මේවන විට ඔහු මීයන් දහසකගේ පමණ හිස් බද්ධ කිරීම් සිදුකර අත්දැකීම් ලබා තිබෙනවා.

මෙම සුවිශේෂී සැත්කමට භාජනය වීම සඳහා 30 වන වියේ පසුවන රුසියානු ජාතික Valery Spiridonov නම් පරිඝණක විද්‍යාඥයෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත පල කර ඇති අතර ඔහු අබාධිත තත්වයක් නිසා කුඩා කල සිටම රෝද පුටුවක් මත ජීවිතය ගත කල අයෙක්.

සැත්කම සිදුකිරීම සදහා 100 දෙනෙකුගෙන් සමන්විත ශෛල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට පැය 36 කාලයක් ගතවන බවට ගණන් බලා තිබෙනවා. රෝගියාගේ හිස සහ දායක කල ශරීරය 12C0  ත් 15C0 අතර උෂ්ණත්වයක තබා ගන්නා අතර එම උෂ්ණත්වය යටතේ  ඔක්සිජන් නොමැතිව දිගු කාලයක් සෛල ජීවී තත්වයේ පවත්වා ගත හැකිවනවා. මෙම සැත්කම සඳහා ඇස්තමේනතු කර ඇති වියදම යුරෝ මිලියන 7.5 පමණ වන බවයි සඳහන් වෙන්නේ.
ඉතා තියුණු කැපුම් තල යොදා ගෙන සුෂුම්නාවට හා ගෙල වටා ඇති පටක වලට හානි අවම වන අයුරින් හිස කපා වෙන්කර ගැනීම සිදු කරන අතර ඉන්පසු දායක ශරීරයට බද්ධ කිරීම සිදු කරනු ලබනවා. මෙම සැත්කමෙන් පසු රෝගියා මාසයක පමණ කාලයක් කෝමා තත්වයකට පත්වන බවත් ශරීරය හිස ප්‍රතික්ෂේප කිරීම නැවැත්වීම සඳහා ඖෂධ ලබා දීම සිදුකල යුතු  බවත් වෛද්‍යවරු පවසනවා.
යම් හෙයකින් මෙම සැත්කම සාර්ථව වුවහොත් රෝගියාට ඔහුගේම හඩින් කථා කිරීමට හැකියාව ලැබෙන අතර කොමා තත්වයෙන් අවදි වී වසරක පමණ කාලයක් අතර තුර ඇවිදීමේ හැකියාවද ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා.
කෙසේවෙතත් මීට පෙර කිසිදු අවස්ථාවක මිනිස් හිසක් බද්ධ කිරීම සිදු කර නොමැති අතර සතුන්ගේ හිස බද්ධ කිරීමේ සැත්කම්ද එතරම් සාර්ථක වු අවස්ථාවක් පිළිබද වාර්තා වී නැහැ. 1970 දී වෛද්‍ය Robert White විසින් සාර්ථක ලෙස වදුරකුගේ හිස බද්ධ කිරීම සිදුකලත්, සුෂුම්නාව ශරීරය සමග සම්බන්ධ නොකල නිසා අවුරුදු අටකට පසු වදුරාගේ මරණය සිදුවු බව වාර්තාවනවා.
මිනිස් හිස බද්ධ කිරීමේ මෙම සැත්කමට දායක වන චීන ශෛල්‍ය වෛද්‍යවරයා මීයන් දහසකගේ පමණ හිස බද්ධ කිරීම් සිදු කර තිබුණත්, සැත්කමෙන් පසු මීයන්ට වැඩි කලක් ජීවත් වීමට නොහැකි වී තිබෙනවා.


සැත්තමට භාජනය වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු Spiridonov හට සැත්කම ආසර්ථක වීම පිළිබඳ සුළු බියක් තිබුණත් ඔහු පවසන්නේ  මෙය පළමු වරට මිනිසෙක් අභ්‍යාවකාශයේ ඇවිදයාම හා සමාන තාක්ෂණික විප්ලවයක් වන බවත්, යම් හෙයකින් මෙම සැත්කම සාර්ථක වුවහොත් ඛේදනීය ලෙස අබාධයන්ට ලක්වු දහස් සංඛාත පුද්ගලයින්ට තමන්ගේ ජීවිතය සුන්දර කරගැනීමට මහත් වු රුකුලක් වනු ඇති බවත් ය.

No comments:

Post a Comment