Tuesday, January 19, 2016

ඉන්දියාව 84% ක බහුතරයක් හින්දු ආගම අදහන තවත් ප්‍රධාන ආගම් 6ක් සහ වෙනත් ආගම් විශාල ප්‍රමාණයක් තිබෙන විශාල රටක්. අවුරුදු 4000ක් පමණ පැරණි හින්දු ආගම, 2500ක් පැරණි බෞද්ධ දර්ශනය අතුලු විවිධ ආගම් රාශියක් තිබෙන නිසා පෞරාණික වටිනාකමින් යුත් සුවිශේෂී ආගමික ස්ථාන රැසක සාමඩම්බර හිමිකාරිත්වය ඉන්දියාව සතු වෙනවා. මේ අතරින් ඔබට නොඇසුනු, දැකගන්නට නොලැබුණු අරුම පුදුම ආගමික ස්ථානයක් තිබෙනවා.  මෙය UNESCO ලෝක උරුමයක් වන Khajuraho Group of Monuments දේවාල සංකීර්ණය ලෙස දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතාමත් ජනප්‍රියයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දිල්ලි නගරයට කිලෝමීටර් 620 පමණ දකුණු දෙසට වන්නට පිහිටා ඇති Khajuraho හින්දු සහ ජෛන ආගම් වලට අයත් දේවාල ගණනාවක එකතුවක්. ක්‍රි. ව. 950 – 1050 අතර කාලයේ ගොඩ නගා ඇති මෙහි දේවාල 85ක් තිබූ බවයි පැවසෙන්නේ. 12 වන සියවසයේ වර්ග කිලෝමීර් 20ක ප්‍රදේශයක පැතිර තිබුණු මෙම දේවාල සංකීර්ණය මේ වන විට වර්ග කිලෝමීටර් 6කට සීමා වෙලා තිබෙන අතර දේවාල 20ක් පමණ  ඉතිරිව තිබෙනවා. මේ දේවාල සියල්ල nagara නම් විශේෂිත ගෘහ නිර්මණ ශිල්පීය ක්‍රමයකට ගොඩ නගා තිබෙනවා.  Khajuraho දෙවොල් වල ඇති සුවිශේෂීම පුදුම උපදවන කරුණ වන්නේ වෙනත් ආගමික ස්ථානවල දුර්ලභව දක්නට ලැබෙන කාමුක ඉරියව් විදහා දක්වන කලාත්ම ප්‍රතිමා දක්නට ලැබීමයි.
මෙම දේවාල වල තිබෙන ප්‍රතිමා වලින් 10% ක පමණ දක්නට ලැබෙන මෙම කාමුක ප්‍රතිමා විවිධ විශාලත්ව වලින්, විවිධ ඉරියව් වලින් නිර්මාණය කර ඇති අතර හින්දූන් පුද පූජා පවත්න දෙවිවරුන්ගෙන් ඈත්ව පිටත බිත්ති වල නිර්මාණය කර තිබෙනවා. පුරාණ හින්දු ආගමට අනුව කාමය යනු මිනිස් ජීවිතයට ඉතාමත් අත්‍යාවශ්‍ය මෙන්ම සුදුසු දෙයක් ලෙසයි සලන්නේ. ඇතැම් හින්දු ආගමික ස්ථාන වල මෙවැනි ප්‍රතිමා තිබුණත් James McConnachie නම් ඉතිහාස ගවේශකයා පවසන්නේ මෙය කාමුක ප්‍රතිමා කලාවේ නිර්මාණාත්මකම ප්‍රතිමා දක්නට ලැබෙන ස්ථානය බවයි.
පූළුල්වූ උකුල්, පිරුණු පියයුරු සහ නාරි ලාලිත්‍යය විදහා දක්වන ලෙස ඉතාමත් කලාත්මකව ගලින් නිමවා ඇති මෙම පිළිම දිව්‍ය අප්සරාවන් හා සමාන රුවකින් යුතුව නිර්මාණය කර තිබෙනවා. මේ නිර්මාණ කොතරම් සියුම්ව නිර්මාණය කර තිබේද යන්න හොඳින් පිළිඹිබු වන්නේ මුහුණේ හැඟීම්, අග පසග පමණක් නොව ලිංගික අවයව පවා ඉතාමත් පැහැදිලි ලෙස නිර්මාණය කර තිබෙන නිසායි. කාමුකත්වය විදහා පාන ප්‍රතිමා වලට අමතරව එකල මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සිදුකරන විවිධ සිදුවීම් විදහා දක්වන ප්‍රතිමාද මෙහි දක්නට ලැබෙනවා. ඒ අතර කාන්තාවන් රූප ලාවන්‍ය කටයුතු කරන අයුරු, කාන්තාවන් ස්නානය කරන අයුරු, ඔවුන් ඇඳුම් හා ආභරණ පළඳින ආකාරය මෙන්ම ප්‍රේමයෙන් වෙලුණු ස්ත්‍රීන් හා පුරුෂයින්, ක්‍රීඩාවන්හි හා නර්ථනයන්හි යෙදෙන කාන්තාවන්, සංගීතඥයින්, ගොවියන්, කුඹල්කරුවන් සහ සතුන්ගේ ප්‍රතිමාද මෙහි දැකගන්නට පුළුවන්.
මෙහි නෙලා ඇති කාමුක ප්‍රතිමා වල දැක්වෙන ඇතැම් ලිංගික ඉරියව් ඉතාමත් පුදුම සහගත වන අතර ඇතැම් ඒවා අසම්මත ලිංගික චර්යාවන්ද විදහා දක්වනවා. කණ්ඩායම් වශයෙන් ලිංගිකව එක්වීම, මුඛ සංසර්ගය, ස්වයං වින්දනය, සම ලිංගික සේවනය පමණක් නොව සතුන් සමඟ සිදුකරන ලිංගික ක්‍රියාකාරකම් වැනි අතීතයේ තිබෙන්නට ඇතැයි ඔබ විශ්වාස නොකරන ආකාරයේ ලිංගික චර්යාවන් මෙහි දැක ගන්න ලැබීම සුවිශේෂී කරුණක්.
ඇතැම් විද්වතුන් මේ නිර්මාණ Khajuraho දෙවොල් නිර්මාණය කරන සමයේ ඉන්දියානුවන්ගේ සාමාන්‍ය ජන ජීවිතය හා ලිංගික ක්‍රියාකාරකම් විදහා දක්වන බව විශ්වාස කරන අතර තවත් අය පවසන්නේ මේවා දෙවියන් අතර සිදුවන ලිංගික ක්‍රියාකාරකම් විදහා දක්වන බවයි. මේ ප්‍රතිමා නෙළා ඇති ආකාරය, ආභරණ සහ ශරීර ලාලිත්‍යයට  අනුව බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ මෙය දෙවියන්ගේ ලිංගිකත්වය විදහා දක්වන බවයි.
 ශ්‍රී ලංකාවේ මධ්‍යය ලෙස සලකන නාලන්ද ගෙඩිගේ හින්දු ගෘහ නිර්මාණයට අනුව සිදු කල ගොඩනැගිල්ලේද මෙවැනි ලිංගික ඉරියව් සහිත ප්‍රතිමා දක්නට ලැබෙන අතර ඒවා මෙතරම් කලාත්මක බවින් යුතු ඒවා නොවේ.

























No comments:

Post a Comment