Sunday, January 1, 2017

අළුත් අවුරුද්දේ ඔබේ ඉලක්කය ජයගැනීමට නම්, ඔබ තුල ඇති කරගත යුතුම වෙනස

යම් යම් දේ ගැන මැසිවිලි නගනවාට වඩා, මේ දේ මෙසේ උනානම් හොඳ යැයි සිත සිතා ඉන්නවාට වඩා, යම් කෙනෙකු තමා බලාපොරොත්තුවෙන මතය තමා තුල ඇති කරගන්නේ නම් එයම ජයග්‍රහණයේ දොරටු විවර කරනු ඇත.
කෙනෙකු තමා තුල දකින්නට කැමති වෙනස සාර්ථකත්වය, ජයග්‍රහණය සඳහා කල හැකි සියල්ල කල යුතුය. ඒ වෙනුවට තමන්ට හැකි දේවල් හෝ නොලැබුන දේවල් හෝ අහිමිවුන දේවල් ගැන වද වෙමින් කල හැකි දේ දිනපතා කල් දැමීම තමන්ගේ සාර්ථකත්වය තමා විසින්ම වලදමා ගන්නා ක්‍රමයකි.

ස්වභාව ධර්මය විසින් කිසිම මිනිසෙකු අලසව සිටීමට නිර්මාණය කර නැත
ස්වභාව ධර්මය කිසිම මිනිසෙකු අලසව සිටීමට නිර්මාණය කර නැතිනම් මිනිසුන් අලසව සිටින්නේ ඇයි, එය ඕනෑම කෙනෙකු සිතන ප්‍රශ්නයක් විය හැක. බොහෝ අලසව සිටින අය ගැන විමර්ශනශීලීව බැලුවොත් පැහැදිලි වන න්‍යායක් වන්නේ මේ අයට ඇත්තටම, සැබෑලෙසටම, අව්‍යාජව, සාර්ථකවන්න උවමනාවක් නැති වීම හෝ ඔවුන්ට තියෙන උවමනාව සත්‍ය උවමනාවක් නොවීමයි. මොවුන් විවිධ උපක්‍රම භාවිතා කරමින් කාලය නාස්තිකර දමනවා දැකිය හැකිය. මොවුන් හඳුනාගැනීමට පහසු කාරණා කිහිපයක් සඳහන් කිරීමට කැමැත්තෙමි.
සමහරුන් නිතර නිතර අනවශ්‍ය කතාවලට පැටලී පැය ගණන් කාලය නාස්තිකර දමති, තවත් අය රූපවාහිනිය ඉදිරියේ පැය ගණන් කාලය නාස්ති කර දමති, සමහරුන් ඕපාදුප කතාකරමින් නිතර නිතර කාලය නාස්ති කර දමති, තවත් සමහර අය අනවශ්‍ය අබ්බැහිවීම් නිසා කාලය නාස්තිකර දමති. මේ අයගේ ජීවිත ඔහේ ඒකාකාරී ලෙස ගලා යන එකතැන පල්වෙන ජීවිත ලෙස පැවතීමද දක්නට ලැබෙන අතර මොවුන්ගේ ජීවිත බොහෝවිට නිකම්ම නිකම් දිවාකාලයක් හා රාත්‍රී කාලයක් ගතකිරීමක් පමණි. ජීවත් වෙනවා යන්න එය නොවේ.

යාචකයන්ද ජීවත් වෙති, තිරිසන් සතුන්ද ජීවත් වෙති,
ජිවිතය යනු ඔහේ ජීවත්වීම නොවේ
යමෙක් තමාගේ උවමනා එපාකම් නිවැරදි ලෙස සපයාගෙන තමන්ගෙන් විය යුතු යුතුකම් කොටස මැනවින් ඉටුකරමින් සතුටින් ජීවත් වන්නේ ද එය ජීවත්වීමය
සැබෑ ලෙස ජීවත්වීමට නම් ගෙවන හැම දවසක්ම අර්ථවත්ව ගෙවිය යුතුයි, සැලසුම් සහගතව ගෙවිය යුතුයි. එම දිවි ගෙවීම ඉක්මනින්ම ඉතාම අර්ථාන්විත සැබෑ ජීවත්වීමඅපට සමීප කරනු ඇත.
1946 අගෝස්තු 20 දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ගුරුවරයෙකුට දාව කොලු ගැටයෙක් ඉපදෙනවා ඔහු නමින් නාරායන මූර්ති. පසුකලෙක මොහු මයිසුර් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු උපාධාය සම්පූර්ණ කර පසුව IIT විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව හදාරනවා.
1981 සිය බිරිඳගේ රත්‍රන් ආභරණ උකස් කර ලබාගන්න රු. 10,000 ක මුදලින් තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ Infosys ආයතනය ආරම්භ කරනවා. එය ඉතා කෙටිකලකින් ලෝකයේ දැවැන්ත සමාගමක් බවට පත්වනවා.

ඔහුට එහෙම ඕනකමක් තිබුණා, පළමුව ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු විද්‍යාව හදාරන ඔහුට පසුව පරිගණක විද්‍යාව හදාරන්න උවමනාවක් ඇති වෙනවා. එම උවමනාව බොහෝ අය තුල සැබෑ ලෙස ඇතිවන්නේ නැහැ. බොහෝ අය කරන එක් දෙයක් උනත් සාර්ථකව කරන්නේ නැහැ. ඉතින් තවත් දෙයක් ගැන කවදාවත් හිතයි ද යන්න ගැටළුවක්. පුළුවන් කමක් තිබිලාම නෙමෙයි ඔහු මෙම ආයතනය පටන්ගත්තේ බිරිඳගේ කනකර ආභරණ උකස් කරලා. ඔහුට අපේක්‍ෂිත වෙනසක් තිබුණා. ඔහු එම වෙනස තමන් තුල ඇති කරගැනීමට වෙහෙසුනා.
නාරායන මූර්ති ඇතිකල Infosys සමාගම ඔහු ඇමරිකාවෙත් ආරම්භකලා. එය ඇමරිකාවේ ආරම්භ කල ප්‍රථම ඉන්දීය සමාගම වූවා. ඔහුගේ සමාගම තුලින් මිලියන 400 කට වඩා බිහිවුනා. Asia week සඟරාව මඟින් 2000 වර්ෂයේ දී ඔහු ආසියාවේ බලවත්ම මිනිසුන් 50 දෙනා අතරට තෝරා ගැනුනා.
නාරායන මූර්ති ගෙවන සෑම දවසක්ම අර්ථාන්විතව ගෙවා දමමින් ලෝකයේම බැබලෙන මිනිසෙක් උනා. ලෝකයම එපාවූ ගානට දවසක් ගානේ නීරස ලෙස, කාලකන්නි ලෙස ගෙවා දමනවාට වඩා එය කොතරම් අපූර්ව කටයුත්තක්ද?
නොවරදින්නට නම්,
යමක් නිවැරදි ලෙස සාර්ථකව හදුනාගැනීමට නම් එම ඉලක්කය සුවිශේෂී එකක් විය යුතුයි. එම ඉලක්කය 100% ක් තමන්ගේ මනසට කාන්දු වී තිබිය යුතුයි. එම ඉලක්කයෙන් හිත පිරි ගොස් තිබිය යුතුයි. එයට සීමාවක් පනවා තිබිය යුතුයි. අපි හිතමු කෙනෙකුගේ ඉලක්කය ලස්සන නිවසක් සැදිමට කියලා. එහෙනම් ඒ නිවස සාදන්නේ අවුරුද්දකින්ද දෙකකින්ද හතරකින්ද කියලා හරියටම නිශ්චිත කරගත යුතුයි. එහි සැලසුම වියදම ගැන පූර්ව නිගමනයකට පැමිණ තිබිය යුතුයි. එයට මුදල් උපයාගන්නා ආකාරය පිළිබඳව නිගමනයකට පැමිණ තිබිය යුතුයි.

 කෙනෙකුගේ අරමුණ ව්‍යාපාරයක් කිරීම නම් ව්‍යාපාරයේ අරමුණ, ව්‍යාපාරයේ වර්ගය, එයින් ලැබෙන ආර්ථික ප්‍රථිලාභ, ගනුදෙනුකරුවන්, ආරම්භ කරන්නට කැමති ප්‍රදේශය යානාදි සියල්ල පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණ තිබිය යුතුයි. මෙලෙස සැලසුම් සහගතව ඇති අරමුණ අනිවාර්යයෙන්ම සැබෑවෙනවා ඇත.
වචන වලට වඩා සැමවිටෙකම ක්‍රියාව ප්‍රබල වනවා ඇත.
ඔබේ වචන විශ්වාස නොකරන අය සිටිය හැකිය. නමුත් ඔබගේ ක්‍රියාව ඔවුන් වශ්වාස කරනු ඇත. සාර්ථක විමට නම් වචන ක්‍රියාවන් වලට හැරවිය යුතුයි.
කෙනෙකුගේ වචන, සිතුවිලි ක්‍රියාවන්ට හැරවූයේ නැත්නම් ඔහුගේ සිහිනය කවදාවත් යතාර්ථයක් නොවනු ඇත. නාරායන මූර්ති සැමවිටකම උත්සාහ කලේ ඔහුගේ අරමුණු, බලාපොරොත්තු සහින ක්‍රියාවන්ට හැරවීමටයි. එය සාර්ථක වූවා.

ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් සිතුවිලි ක්‍රියාවන් බවට හරවන්න.
ඔබ ඔබේ ජීවිත ගැන කොතරම් තෘප්තිමත්ද? කොරම් සෑහීමකට පත්වන්නේද? කොතරම් සතුටුයිද? ඔබ කැමති පරිදි ඔබගේ ජීවිතය සකස්වී නොමැති නම් මේ මොහොතේම වෙනස් කරන්න, මේ ඔබේ ක්‍රියාවයි. ඔබයි ප්‍රතිමල්ලවයා, ඔබයි ක්‍රීඩකයා, ඔබයි විනිසුරු එම නිසා ජයග්‍රහණය කරන්නේ ද ඔබමයි.

ආචාර්ය ලංකා රසාංජන

No comments:

Post a Comment