Saturday, January 7, 2017

තරඟ 92 තුල කඩුලු 500ක් දවාගත් ශ්‍රී ලංකාවේ මීළඟ බලාපොරොත්තුව මලින්ද


ශ්‍රී ලංකාව සුපිරි දඟ පන්දු යවනන් ක්‍රිකට් ලෝකයට බිහිකරන තිඹිරිගෙයක් ලෙස ලෝප්‍රකටයි. ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් මෙන්ම මේවන විට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන සුපිරිම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත්, ශ්‍රී ලංකාව ලෝකයට දයාද කල දඟ පන්දු යවන්නන් අතර කැපී පෙනනවා.. නමුත් රංගන හේරත්ගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන්  ක්‍රීඩා කල හැකි තවත් සුපිරි දඟ පන්දු යවන්නෙක් සිටිනවාද? මෙය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන  බොහෝ දෙනකු නගන ගැටළුවක්.
 ක්‍රීඩා ලෝලීන්ගේ එම ගැටළුවට සාර්ථක පිළිතුරක් දීමට මලින්ද පුෂ්පකුමාර නම් වමත් දඟ පන්දු යවන්නා සමත්වී තිබෙනවා. ලෝකයට විශිෂ්ට දඟ පන්දු යවන්නන් බිහිකරන මේ පුංචි දිවයිනේ නවතම නිර්මාණය ඔහු බව පිළිගැනීමට තරම් දක්ෂතා මේවන විටත් ඔහු පෙන්වා හමාරයි.


මේ වන විට 29 වන වියේ පසුවන මලින්ද පුෂ්පකුමාර පසුගිය දා ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කරමින් පළමු පෙල ක්‍රිකට් තරඟවලදී කඩුලු 500 සීමාව පසු කිරීමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සනිටුහන් කිරීමට සමත් වුණා. පළමු පෙළ තරඟ 92ක් ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාව දැක්වීමට ඔහුට හැකි වී තිබෙනවා. 2014/15 වර්ෂයේ වැඩිම කඩුලු ලාභියා වන මලින්ද එහිදී කඩුලු 70ක් දවාගෙන තිබෙන අතර වසරේ හොඳම පන්දු යවන්නා ලෙසද සම්මාන හිමි කරගත්තා. මීට පෙර 2011/12 සහ 2012/13 යන වර්ෂවලදී ද හොඳම පන්දු යවන්නා ලෙස දෙවරක් සම්මාන හිමි කරගැනීමට ඔහුගේ දක්ෂතා ප්‍රමාණවත් වුණා.

ලුම්බිණී විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දයාද වූ ඔහු 2006 වසරේ දී සිංහ ක්‍රීඩා සමාජය හරහා පළමු පෙළ තරඟවලට පිවිසෙනවා. 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ICC Youth World Cup තරඟාවලිය සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාව හිමිවී තිබෙනවා. 2012 වර්ෂයේ දී මුල්ම වරට ශ්‍රි ලංකා A කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමිවීම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ ලද ස්වර්ණමය අවස්තාවක් ලෙස සටහන්වනවා.
ඔහු සහභාගී වූ පළමු පෙළ තරඟ 92  තුල කඩුලු 5ක් ලබාගත් අවස්ථා 38 සහ කඩුළු 10ක් දවාගත් අවස්ථා 15ක් සටහන් වන අතර ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 46 කට කඩුලු 9ක් දවාගැනීම ඉනිමකදී වාර්තාකල හොදම දක්ෂතාවය ලෙස වර්තාවනවා.
මේ වන විට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන මලින්ද මෙම තරඟ සමයේදී ද කඩුලු 40ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවනවා.


ශ්‍රී ලංකාවේ මීළඟ දඟ පන්දු තරුව වීමට අවශ්‍ය තරම් සුදුසුකම් සපුරා සිටින මලින්ද පුෂ්පකුමාරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අවස්ථාවක් හිමි විය යුතුව තිබෙනවා. වර්ෂ කීපයකදීම හොඳම පන්දු යවන්නා වෙමින්, පළමු පෙළ කඩුලු 500 සීමාව පසුකල මලින්ද පුෂ්පකුමාර වැනි අති දක්ෂ ක්‍රීඩකයන්ට තවමත් ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම පුදුමයට කරුණක්. එලඹෙන ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් මෙවැනි සුපිරි පන්දු යවන්නන් ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට සූදානම් කරන්නේ නම්, තවත් ලෝක  කුසලාන ජයග්‍රහණයක් ලබා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.  

No comments:

Post a Comment