Tuesday, April 25, 2017

මීතොටමුල්ල කුණු කන්දට ඔබත් වගකිව යුතුයි. රටට ආදරය කරනවා නම් දැන්ම කියවන්න, නිවැරදි වන්න

විශාල පිරිසකගේ ජීවිත අහිමි කරමින්, තවත් පිරිසකට දේපල අහිමිකරමින් පසුගියදා නාය යෑමට ලක්වූ මීතොටමුල්ල කුණු කන්ද අප රටේ සුන්දරත්වයේ, පිරිසිදු භාවයේ තරම ලොවට කියා පෑවේය. මෙරට පාලනය කල රජයන් මෙයට වග කිව යුතු යැයි සියළු දෙනා චෝදනා කරයි.
එහෙත් ඔබ සිහිනයකින්වත් නොසීතූ දෙයක් ඔබට වටහා දීමට දැන් කාලය එළඹ ඇත. මීතොටමුල්ලට කුණු බැහැර කිරීම ආරම්භ කොට ආසන්න වශයෙන් වසර 20ක් පමණ වන අතර එතැන් සිට මේ දක්වා කොළඹ නගරයේ එක්රැස් වූ කුණු වලින් මෙම විශාල කුණු කන්ද නිර්මාණය විය. පසුගිය වසර 20 තුල කොළඹ නගරයේ ජීවත් වූ ජනතාව පමණක් නොව එක් වරක් හෝ කෙළඹට පය තැබූ මිනිසුන් පවා මේ ඛේදවාචකයට වගකිව යුතුය. ඔබ සැම කෙළඹ නගරයට එක කසල පිඩක් හෝ බැහැර කළ ඇති බවට නොඅනුමානය.  

අප සැම ලංකාවේ විවිධ නගර වලට දිනපතා කසල බැහැර කරමින් සිටිමු. ගංඟා වලට, ඇලදොල වලට, ස්වභාවික පරිසරයට අප සැම දිනපතා කිසිම පාලනයකින් තොරව කසල බැහැර කරමින් සිටිමු. එසේ නම් මේ කුණු ප්‍රශ්නය විසඳිය හැක්කේද ශ්‍රී ලංකියන් වන අපහටම පමණි.

ප්‍රධාන වශයෙන් සියළුදෙනාම එක්විය යුත්තේ පොලිතින් භාවිතය අවම කරගැනීමටය. පහත තොරතුරු වලින් ගණනකට වත් නොගෙන ඔබ බැහැර කරන කසල බරපතලකම ඔබට දැනගත හැකිවේවි.
කොළඹ මන නගර සභාව විසින් දිනකට එකතු කරන කසල ප්‍රමාණය ටොන් 700කි. ඉන් ටොන් 42ක්ම පොලිතින් වේ.
ශ්‍රී ලාංකිකයින් දිනකට බැහැර කරන ලන්ච් ෂීට් ප්‍රමාණය මිලියන 15ක් පමණ වේ.
ලංකාව තුල දිනකට බැහැර කරන පොලිතින් බෑග් ප්‍රමාණය මිලියන 22ක් පමණ වේ.
අප බැහැර කරන පොලිතීන් ආහාරයට ගැනීමෙන් වසරකට මියයන සතුන් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ.

මුහුදට ප්ලාස්ටික් බැහැර කරන ප්‍රධාන රටවල් 20 අතර අප වැජඹෙන්නේ ලෝක වර්තා පිහිටුවමිනි.
එක් ශ්‍රී ලාංකිකයෙක් දිනකට නොදිරන ප්ලාස්ටික් ග්‍රෑම් 299ක් පරිසරයට බැහැර කරන අතර අප සැම එක්වී දිනකට ප්ලාස්ටික් කිලෝ 5163689ක් පරිසරයට බැහැර කරමු.

මේ ගැටලුවට විසඳුමක් ලබා දීමට ඔබ ආරම්භ කල යුතු කාලය දැන් එළඹ ඇත. එයට හේතුව ඔබ අතින් මේ වන විටත් සිය ගණනක් මිනිස් ඝාතන සිදුවීටත්, ලක්ෂ ගණනක් සත්ව ඝාතන සිදු වීමටත් දශමයකින් හෝ සහයක් ලැබී ඇති බැවිනි.
පහත සරල පියවර වලින් මේ ගැටලුවට ඔබට හොඳ විසදුමක් ලබා දිය හැකි වේවි.

1.  පොලිතින් නැවත භාවිතයට ගමු.

ඔබ ගෙන එන  සෑම පොලිතින් හෝ ප්ලාස්ටික් භාණ්ඩයක්ම නැවත අඩුම වශයෙන් එක් වතාවක් හෝ භාවිතයට ගන්න. එසේ සිදු කළහොත් මෙරට තුල දිනකට බැහැර කරන පොලිතින් බෑග් ප්‍රමාණය හරි අඩකින් අඩුකරගත හැකි වනු ඇත. ඔබගේ වාහනයේ, බෑග් එකේ, සාක්කුවේ නිවසට ගෙන ආ පොලිතින් බෑග් සැම විටම තබා ගන්න. ඔබ යමක් මිලදී ගන්නා විට ඔබට ලැබෙන පොලිතින් බෑග් ප්‍රතික්ෂේප කොට ඔබ ලඟ ඇති බෑග් නැවත භාවිතා කරන්න. එය සුපිරි වෙළඳ සැලක් වුවත් ඔබ මිලදී ගන්නා භාණ්ඩ ඔබ ගෙන ආ බෑග් වල රැගෙන යන්න.

 2. ලන්ච් ෂීට් භාවිතය, පොලිතින් භාවිතය නවතා දමමු.

දිවා ආහාරය ගෙන යෑමට සුදුසු කෑම පෙට්ටියක් භාවිතා කිරීමෙන් කොළඹ නගරයේ දිනකට බැහැර කරන ලන්ච්ෂීට් මිලියන 15 පමණක් නොව මුළු ලංකාව තුල  බැහැර කරන සියළුම ලන්ච් ෂීට් එක් දිනකින් ඔබට නවතා දැමිය හැක.  හැකි සෑම විටම පොලිතින් භාවිතයෙන් ඉවත් වන්න. (ඔබ කඩේට යන්නේ බිස්කට් පැකට් එකක් ගේන්න නම් එය දමා දෙන පොලිතින් බෑග් එක නැවත කඩේට දෙන්න. බිස්කට් පැකට් එක්ක ගේන්න පොලිතින් බෑග් එකක් ඇත්තට අපට අවශ්‍ය නැහැ. එය අතින් ගෙන යා හැකියි. මෙවැනි සරල තැන් වලින් පොලිතින් භාවිතය නැවැත්වීම ආරම්භ කරන්න.)
3. ඔබේ කසල හැකි සෑම විටම ඔබම ප්‍රතිචක්‍රීකරණය කරගන්න. නැතිනම් ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනයන්ට ඒ සඳහා උපරිම සහය ලබා දෙන්න.

දුම්රිය, බස්රථ වලින් එලියට ඔබගේ කසල දැමීම සම්පූර්ණයෙන් නවතා දමන්න. මහ මඟ, හෝ පාළු පෙදෙස්වල කුණු දැමීම සම්පූර්ණයෙන් නවතා දමන්න. කසල වර්ගීකරණය කොට සැම විටම කසළ බඳුන් වලටම බැහැර කරන්න. කසල බඳුන් නොමැති නම් ඔබේ කසල නිවසට රැගෙන ගොස් වර්ගීකණය කොට බැහැර කරන්න. ටෙෆී කොලයක් වත් පරිසරයට බැහැර කරන්න එපා.

4. එරෙහි වන්න, දැනුවත් කරන්න.

දුම්රිය, බස්රථ, මහමඟ අවිධිමත් ලෙස කසල බැහැර කරන අයට එරෙහි වන්න. ඔවුන් දැනුවත් කරන්න. ඔබගේ මිතුරන්, යහළුවන්, ඔබට හමුවන සියළු අවිධිමත් කසල බැහැර කරන්නන්ට එරෙහි වන්න, ඔවුන් දැනුවත් කරන්න.
මේ දැන්ම ආරම්භ කරන්න. පරිසරයට ආදරය කරන පිරිසක් ඔබ වටා නිර්මාණය කරගන්න. අවිධිමත් ලෙස කසල බැහැර කරන අයට ඔබේ කණ්ඩායම සමඟ දුම්රියේදී, බසයේදී, මහ මඟදී එරෙහි වන්න. මේ සරල පියවර 4 ඔබ දන්නා සියලු දෙනාට පවසන්න. එය ක්‍රියාත්මක කරන්න. මේ දැන් ආරම්භ කරන්න. දැන් ක්‍රියාත්මක කරන්න.
මේ ලිපිය ඔබගේ මිතුරන්ට ෂෙයා කර දැනුවත් කිරීමෙන් පළමු පියවර තබන්න.


No comments:

Post a Comment