Monday, June 19, 2017

පරදින මැච් දිනවන සුපිරි දඟ පන්දු යවන්නා සමඟ දිනන මැච් බලන්න ලෑස්තිවෙන්න.

1996 න් ආරම්භ වූ  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ සිට මේ මෑතක් වන තුරුම ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථාන කිහිපය අතර රැදෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ අසමසම දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්කම් දැක්වූවා. එහෙත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උදාවී ඇත්තේ කිසිවෙක් සිහිනෙකින්වත් නොසිතූ තත්වයක්. ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල 8 වන ස්ථානය දක්වා පහත වැටුණු ශ්‍රී ලංකාව තවත් එක් ස්ථානයකින් පහත වැටුණහොත් එළඹෙන ලෝක කුසලානය ස‍දහා ක්‍රීඩා කිරීමට නම්, සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගී ඉන් ජයග්‍රහණ ලැබිය යුතුව තිබෙනවා.
ලෝකයේ අංක එකේ ක්‍රිකට් කණ්ඩායම බවට කලක් පත්ව සිටි ශ්‍රී ලංකාව මෙතරම් අඩියකට ඇද වැටුණේ ඇයි?  ඒ.. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් මුල් පෙළ තරග වලින් හා පාසල් මට්ටමින් බිහි නොවන නිසාද? නැතිනම් අති දක්ෂයින්ට ක්‍රිකට් ජාතික සංචිතයේ අවස්ථාවක් නොලැබීම ද? ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදරය කරන බොහෝ දෙනෙකු තුල දැන් දැන් මෙවැනි ගැටළු පැන නගිමින් පවතී.
එහෙත් ශ්‍රී ලංකාව තුල දක්ෂ ක්‍රීඩකයින් බිහි නොවනවා යැයි කීම කිසිසේත් පිළිගත නොහැකි දෙයකි. එය එසේ නොවේ යැයි කියන්නට උදාහරණ ඕනෑ තරම් දැක්වීමට හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට්වල අනාගතය ඇත්තේ අති දක්ෂ නවක ක්‍රීඩකයින් සතුව බැවින් එවැන්නන් හඳුනා ගැනිමට ක්‍රීඩාවට ප්‍රිය කරන ඔබ මහත් කැමැත්තක් දැක්වනු නිසැකයි.
මේ කියන්නට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නැවතත් ඉහළට ඔසවා තැබීමට තරම් දක්ෂතා ඇති බව මේ වනවිටත් හෙළදරව් කළ අති දක්ෂ ක්‍රීඩකයෙක් ගැනයි. ඔහු පසුගිය වසර කීපයක් පුරාම ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රිකට් තරඟවල වැඩිම කඩුළු ලාභී පන්දු යවන්නායි. වමතින් දඟ පන්දු යවන ඔහු 2012-13 සහ 2014-15 යන වර්ෂ වල දී මුල් පෙළ ක්‍රිකට් තරඟවලදී ලංකාවේ වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්නා බවට පත් වූ අතර මේ දක්ෂතා නිසාම ඔහු එම වර්ෂ දෙකේ දී ම හොඳම පන්දු යවන්නා ලෙසට සම්මානයට පාත්‍ර විය.

මේ වන විට පළමු පෙළ තරඟ 99 කට ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 558 ක්.  පළමු පෙළ කඩුළු 500ක් ඉක්මවූ පන්දු යවන්නන් අතලොස්ස අතරට එක් වූ මේ සුපිරි ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවවේ අනාගත දඟ පන්දු තරුව වීමට අවැසි සියළු සුදුසුකම් සපුරා හමාරය.
මේ වන විට 29වන වියෙහි පසුවන මේ සුපිරි ක්‍රීඩකයා නමින් මලින්ද පුෂ්පකුමාරය. ලුම්බිණී විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දයාද වූ ඔහු 2006 වසරේ දී සිංහ ක්‍රීඩා සමාජය හරහා පළමු පෙළ තරඟවලට පිවිසෙනවා. 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ICC Youth World Cup තරඟාවලිය සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාව හිමිවී තිබෙනවා. 2012 වර්ෂයේ දී වැඩිම කඩුළු ලභියා වීම නිසා  ශ්‍රි ලංකා A කණ්ඩායම නියෝජනය කිරීමමේ අවස්ථාව මුල් වරට මලින්දට හිමි වූ අතර මේ වන A කණ්ඩායම වෙනුවෙන් ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 92 ක්.
2016/17 වර්ෂයේදී හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් දවා ගැනීම් 77ක් සිදු කිරීමට මලින්දගේ විශිෂ්ට පන්දු යැවීමට හැකි වූ අතර මෙයත් සමඟම මේ වසරේ දී ත් පළමු පෙළ තරග වල වැඩිම කඩුළු ලාභියා වීමට ඔහු සමත් විය. ඔහුට පිටු පසින් සිටින ඔහුගේ ආසන්නම තරඟකරුවාට වඩා කඩුළු 20ක් වැඩියෙන් දවා ගැනීමට මලින්ද පුෂ්පකුමාර සමත් විය. එහෙත් ඔහුට මේ වසරේදී හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය හිමි නොවූ අතර එය ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකුගේ විමතියට කරුණක් විය.
වසර ගණනක් පළමු පෙළ හොඳම පන්දු යවන්නා වෙමින් කඩුළු 500 කඩඉම පසු කල මලින්දට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරිම් මුල්ම අවස්ථාව ලැබුණේ මේ මෑතකදීයි. ඒ වන විට ඔහුගේ වයස 29ක් වූ අතර ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබීමට මේ තරම් ප්‍රමාද වීම ඇත්තෙන්ම පුදුමයට කරුණකි.  කෙසේවෙතත් මෙවර ජාතික සංචිතයට මලින්ද පුෂ්පකුමාර නම් මේ විශිෂ්ට දඟ පන්දු යවන්නාගේ දස්කම් එක් කර ගැනිමට තේරීම් කමිටුවේ දෑස් විවර වේ යැයි සුවහසක් ක්‍රීඩා ලෝලින් බලාපොරොත්තු දල්වා සිටී.

ඒ මන්ද, මලින්ද වැනි ක්‍රීඩකයන් තුල ඇත්තේ සැබෑ ක්‍රිකට් උන්මාදයයි. ඔහු තුල ඇත්තේ අන් කිසිවකටත් වඩා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇති මහත් වූ අභිලාෂය යි.  එසේ නොමැති වූවා නම් ඔහු මේ තාක්කල් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන්නේ නැත.  පාසල් අවදියේ සිට මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩා කරමින් පිට පිට ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නා වෙමින් ක්‍රීඩාවේ උපරිම දස්කම් දැක්වුවත්, ඔහුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.  වෙනත් ක්‍රීඩකයෙක් නම් මේවන විටත් ක්‍රිකට් ක්‍රීඩාව හැර දමා ගොස්ය. ඒ මන්ද බොහෝ ක්‍රීඩකයන්ගේ එකම අභිලාෂය ජාතික කණ්ඩායම නියෝජනය කිරීම පමණක් වීමය. එහෙත් මලින්ද වැන්නන් ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු තුල ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ දැඩි අභිලාෂයක් හා ක්‍රිඩාව වෙනුවෙන් සිදුකරන  දැඩි කැපවීමත් පමණි.  ක්‍රිකට් බලධාරීන්ට ඇත්තේ මෙවැනි ක්‍රීඩකයන්ගේ  දැඩි කැපවීම් හා මහත් වූ අභිලාෂයෙන් ප්‍රයෝජන ලබා ගැනීම නොවේද?             
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමට නම් අවශ්‍ය වන්නේ හුදෙක් දක්ෂතාව පමණක් නොව, ක්‍රීඩාව තම සිරුරේ සෑම ලේ බිදුවක් තුලම රඳවා ගත් ක්‍රීඩකයින්ය. මලින්ද පුෂ්පකුමාර නම්  වූ මේ විශිෂ්ට දඟ පන්දු යවන්නා මේ සුදුසුකම් සියල්ල සපුරා හමාරය. දෑස් ඇති ක්‍රිඩා බලධාරීන් මොහුගේ දක්ෂතා හා කැපවීම හඳුනාගෙන ඇතුවාට කිසිඳු සැකයක් නැත. එසේ නම් මේ මලින්දගෙන් වැඩ ගත යුතු කාලයයි.

ලංකාවේ ක්‍රිකට් වලින් ගිලිහෙන කීර්තිය නැවත රැගෙන ඒමට මලින්ද පුෂ්පකුමාරට අවස්ථාවත්, දක්ෂතාවත්, ශක්තියත් මේ වර්ෂයේ දී ලැබෙනු නිසැකය. ඒ මන්ද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ සංචිතයට තේරීපත් වීමට ඔහුට වඩා සුදුසුකම් සපිරූ අන්කිසිවෙක් නොමැති නිසාය. අපේ දඟ පන්දු යවන්නන් දුටු මතින්ම ලෝකයේ ප්‍රභල පිතිකරුවන්ගේ දෙපා වෙව්ලන කාලයක් තිබුණා ඔබට මතක ඇති. මලින්ද වැන්නවුන්ගේ ආගමනය නැවතත් ශ්‍රී ලංකා දඟ පන්දුවේ විශ්මය ලොවට කියාදෙන සමයේ ආරම්භය වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටිමෙන් මහත් කණගාටුවට පත් ව සිටින ක්‍රීඩාවට ප්‍රිය කරන ඔබ සියළු දෙනාටම වින්දනීය මෙන්ම තරඟකාරී ක්‍රිකට් තරඟ නරඹන්නට නැවතත් අවස්ථාවක් උදාවනු ඇත.
මලින්ද ඔබගේ දක්ෂතාව හා අත්නොහරින ක්‍රීඩා ලෝලිත්වය මතින් ගෙනෙන ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණ දැක ගැනීම,  ක්‍රීඩාට ප්‍රියකරන අප සියළු දෙනා ඒකායන පැතුමයි..

මලින්ද ඔබට ජය...




No comments:

Post a Comment